කොවිඩ්-19

අගෝස්තු 1 සිට රට සංචාරකයින්ටත් විවෘත කිරීමට අවධානය, කොවිඩ් හමුවේ රට ලැබූ ජයග්‍රහණය

(RIVIRA.LK, 2020 මැයි 26 පස්වරු 05.16ට)

කොවිඩ්-19 ලෝක වසංගත තත්වය හමුවේ රට කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත්වෙමින් තිබෙන තත්වයක් තුළ අගෝස්තු 01 දින සිට යළි විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් කොවිඩ්-19 මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යෝජනා කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මැයි 26 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැළසුම් පිළිබඳ මෙම හමුවේ දී දිර්ග ලෙස සාකච්ඡා කර තිබෙනවා.

අප්‍රේල් 30 දින සිට මැයි 26 දක්වා කාලය තුළ සමාජයෙන් කොවිඩ්-19 ආසාදිතයෙකු හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව බලකායේ සාමාජිකයෝ පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී විශේෂයෙන්ම අවධාරණය කර තිබෙනවා.

කල් ඇතිව සැලසුම් කිරීමෙන් සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව ශ්‍රී ලංකාවට හිමිව ඇති බව මෙම හමුවේ දී සාකච්ඡා වී තිබෙනවා. එහිදී ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බව ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මෙහිදී පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එහි ප්‍රගතිය අනුව වෙනත් හෝටල් සහ ආපනශාලා ද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් විවෘත කිරීමට පියවර ගැනීමට ද තීරණය කර තිබෙනවා.

සංචාරක ආකර්ෂණය බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමට ද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කරන්න. ඇතැමෙක් වෙරළබඩ විවේකයට කැමතියි. තවත් අය කැමති පුරාවස්තු හා වනජීවින් නරඹන්න. සමහරෙක් උනන්දු වන්නේ තේ වතු බලන්න. ඒ අනුවයි සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ” යැයි පවසා ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ ද සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top