දේශීය පුවත්

CSN නාලිකාවට විකාශන අයිතිය යළි ලබා දීමේ එකඟත්වය මත නඩුව සමථයකට

(RIVIRA.LK, 2020 මැයි 27 පස්වරු 10.35ට)

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (ටී.ආර්.සී.) විසින් කාල්ටන් ක්‍රීඩා ජාලයට (කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වරක් – සීඑස්එන්) වෙන් කර ඇති සංඛ්‍යාත හතරක් සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර අවලංගු කිරීමට එරෙහිව සීඑස්එන් මාධ්‍ය ජාලය විසින් අභියාචනාධිකරණය හමුවේ පවරා තිබූ රීට් පෙත්සම මැයි 26 දින සමථයකට පත් ව තිබෙනවා.

සීඑස්එන් ඉතිහාසය

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් CSN නාලිකාව සඳහා 2011 වසරේ දී විකාශන බලපත්‍රයක් හිමි වී තිබුණා. එය ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා නාලිකාව ලෙස ආරම්භ කෙරුනු අතර ක්‍රිකට් තරඟ විකාශය කිරීමේ අවස්ථාව ද ලබා ගැනීමට සමත් උනා.

කෙසේ වෙතත් එම ආයතනයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කර සිටි අතර එය යෝෂිත රාජපක්ෂට අයත් සමාගමක් බවට දේශපාලන පක්ෂ විසින් කියා සිටියා.

යහපාලන රජයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පරීක්ෂණ

CSN නාලිකාව අරම්භ කිරිමේදී වංචා සිදුවූ බවටත් සහ රජයේ දේපළ භාවිතා කොට ඇති බවටත් එල්ල වූ චෝදනා මත යහපාලන රජය විසින් විමර්ශන ආරම්භ කොට තිබුණි.

එහිදී සීඑස්එන් නාලිකාව හා සම්බන්ධ පරීක්ෂණයකට අදාළව යෝෂිත රාජපක්ෂ සහ සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධානීන් වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට සහ කවිශාන් දිසානායක යන පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේම සීඑස්එන් නාලිකාවේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අදාළ විමර්ශන මෙහෙය වූ අතර රාජ්‍ය සම්පත් ඒ සඳහා යොදා ගත් බවට ද චෝදනා එල්ල වී තිබිණි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාවික හමුදාවට කළ දැනුම් දීමක් අනුව 2016 වසරේ පෙබරවාරි මස 28 දා යෝෂිත නාවික හමුදාවෙන් ඉවත් කරනු ලැබූ අතර නැවත වරක් 2016 වසරේ පෙබරවාරි මස 28 දා සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදාවට අනියුක්ත කිරීමට නාවික හමුදාපතිවරයා විසින් 2019 සැප්තැම්බර් 24 දින කටයුතු කර තිබුණි.

මේ අතර නාමල් රාජපක්ෂ එක් අවස්ථාවක කියා තිබුණේ රාජපක්ෂ පවුල හා එම ආයතනය අතර සම්බන්ධයක් නැති බවයි. තමන් එම නාලිකාවේ ප්‍රේක්ෂකයෙකු පමණක් බවද ඔහු සඳහන් කර තිබුණා.

මේ අතර සීඑස්එන් ආයතනයට හිමි බව සැක කෙරූ රුපියල් මිලියන 159ක පෑන් ඒෂියා බැංකුවේ තැන්පතුවක් හිමිකරුවෙකු නැති බව තහවුරු වීමෙන් අධිකරණය හරහා රජයට පවරාගෙන තිබුණා.

බලපත්‍රය අවලංගු කිරීම

සීඑස්එන් රූපවාහනී නාලිකාවේ විකාශන බලපත්‍රය 2016 ඔක්තෝබර් 24 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබුණා.

අදාළ නාලිකාව ඔවුන් වෙත නිකුත් කර තිබූ රූපවාහිනී විකාශන බලපත්‍රයේ සඳහන් වගන්ති ගණනාවක් උල්ලංඝනය කර තිබීම හේතුවෙන් එම බලපත්‍රයේ 3(1) වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍රය අවලංගු කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිතීඥ නිමල් බෝපගේ සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකාව තුළ භෞමික රූපවාහිනි විකාශන මධ්‍යස්ථානයක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා සීඑස්එන් ආයතනය වෙත 2011.03.03 දින විකාශන බලපත්‍රයක් නිකුත් කර තිබූ අතර, එම බලපත්‍රයේ සඳහන් වගන්ති උල්ලංඝනය කරමින් එම නාලිකාව පවත්වාගෙන යන බවට ලද පැමිණිලි මත සිදුකරන ලද පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී ඇති බව ද ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණ වාර්තාවලට අනුව ඉහත සීඑස්එන් නාලිකාවේ භෞමික රූපවාහිනී විකාශන බලපත්‍රය අවලංගු කිරීමට අමාත්‍යංශය විසින් තීරණය කර තිබූ අතර අමාත්‍යංශ ලේකම්වරයා විසින් සීඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට වෙත අදාළ තීරණය දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා තිබුණේ අදාළ පාර්ශවය එම තීරණය සම්බන්ධයෙන් අතෘප්තිමත් නම් අධිකරණය හමුවට යා හැකි බවයි. කුමන තරාතිරමක අයෙකු වුවත් අධිකරණ තීරණයට යටත් බව සඳහන් කර සිටි ලේකම්වරයා පෙන්වා දී තිබුණේ අධිකරණ තීරණය ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා බැඳී සිටින බවයි.

නඩු පැවරීම

ඒ අනුව අදාළ තීරණයෙන් අතෘප්තිමත් වූ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ලිමිටඩ් සමාගම විසින් අභියාචනාධීකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබුණි.

අදාළ රිට් පෙත්සමෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ, අමාත්‍ය ගයාන්ත කරුණාතිලක, ටී.ආර්.සී. සහ එහි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සමඟ කෞශල්‍යා මොල්ලිගොඩ, ලක්මිනි වරුසවිතාන සහ චරිත රූපසිංහ සමඟ නිශංක විජේසිංහ පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් සංජේ රාජරත්නම් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

පෙත්සම මුල්වරට සළකා බැලුනේ 2016 වසරේ නොවැම්බර් මස 01 දිනයි. ඒ අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස් තුරෙයිරාජා හමුවේයි.

නඩු විභාගය

පෙත්සම මගින් සීඑස්එන් ආයතනය ප්‍රකාශ කර තිබුණේ සිය ආයතනය විකාශය කිරීම සඳහා අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම සහ භෞමික විකාශනයක් සිදුකරන රූපවාහිනී ජාලයක් පවත්වාගෙන යාමේ ව්‍යාපාරයක් තමන් විසින් කරගෙන යන බවයි.

එහිදී සිය බලපත්‍රයේ අඩංගු කිසිදු නියමයක් හෝ කොන්දේසි උල්ලංඝනය කර නොමැති බව ඔවුන් කියා තිබුණා. එසේම අදාළ අවලංගු කිරීමේ තීරණය ගැනීමට පෙර තම පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දී නොතිබූ බවද අධිකරණය හමුවේ කියා සිට තිබෙනවා.

එබැවින් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදු කරන ලද බලපත්‍ර අවලංගු කිරීම නීති විරෝධී, අත්තනෝමතික, අසාධාරණ සහ ස්වාභාවික යුක්තියේ මූලික මූලධර්ම උල්ලංඝනය කළ ක්‍රියාවක් බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සීඑස්එන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා තිබුණි.

එබැවින් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අදාළ තීන්දුව අවලංගු කරන ලෙසත්, එහි රූපවාහිනී නාලිකාවේ ක්‍රියාකාරිත්වය සහ විකාශනය සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මැදිහත් වීමට ඇති අවස්ථාව වළක්වාලන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එසේම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපිය අත්හිටුවීමේ නියෝගයක් ලබා දෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

නඩුව සමථයකට

කෙසේ වෙතත් වසර 4කට ආසන්න කාලයක් තිස්සේ නඩු විභාගය පැවති ද මේ වන තෙක් පෙත්සම්කරුවන් ඉල්ලා සිටි විකාශන බලපත්‍රය අත්හිටුවීමේ නියෝගයක් අභියාචනාධිකරණය විසින් ලබා දී තිබුණේ නැත.

මේ අතර 2020 මැයි 26 දින නඩුව සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවය එකඟ වී තිබෙනවා. ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා විසින් “2016 ඔක්තෝබර් 24 දිනැතිව යොමුකළ විකාශන බලපත්‍රය අවලංගු කිරීමේ ලිපිය” ඉල්ලා අස් කර ගැනීමට වත්මන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා එකඟ වී තිබෙනවා.

එමෙන්ම 2016 ඔක්තෝබර් 23 දින තෙක් ලබා දී තිබූ සංඛ්‍යාත එලෙසින්ම නැවත ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද එකඟ වී තිබුණා.

ඒ අනුව සීඑස්එන් රිට් පෙත්සම, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී සමථය ඇති විය.

ඒ අනුව “විකාශය අවලංගු කිරීමේ ලිපිය” ඉල්ලා අස් කර ගන්නේ නම් තවදුරටත් නඩුව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැති බැවින් නඩුව සමථයකට පත් වූ ලෙස සළකා අවසන් කිරීමට අධිකරණය 2020 මැයි 26 දින තීරණය කළේය.

Rivira FB Group Rivira Youtube
To Top