දේශීය පුවත්

රාජ්‍ය ආරක්ෂක සරසවියේ නීති පීඨයට නිසි පිළිගැනීම ලබා දෙන්නැයි අධිකරණ ඇමතිගෙන් විධානයක්

(RIVIRA.LK, 2020 මැයි 28 පස්වරු 07.15ට)

ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන්ට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පමණක් පෙනී සිටීමේ අවස්ථාව අහිමි කර තිබීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදීන් වසර ගණනාවක් තිස්සේ දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටියා.

ඒ අනුව එම ගැටළුව විසඳීම සඳහා අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා විසින් නීති අධ්‍යාපන සභා පනතෙන් ඇමතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව නීති අධ්‍යාපන සභාව වෙත මැයි 28 දිනැතිව ලිඛිත විධානයක් නිකුත් කර තිබෙනවා.

එම විධානය මගින් ඇමතිවරයා නියෝග කොට ඇත්තේ නීති අධ්‍යාපන සභා රෙගුලාසි සංශෝධනය කරමින් රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ද ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයක නීතිවේදී උපාධියක් වශයෙන් සළකා එම රෙගුලාසිවල සඳහන් විශ්ව විද්‍යාල අතරට ඇතුළත් කරන ලෙසයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල නීතිවේදීන්ට අදාළ වන නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පමණක් පෙනී සිට නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දීමට ඇති අවස්ථාව රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදීන්ට ද අදාළ කරන ලෙස ඇමතිවරයා විධානය කර තිබෙනවා.

කොතලාවල රාජ්‍ය ආරක්ෂ විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද තත්ව වාර්තාවක් සකස් කර ඇති අතර එමගින් ද රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල නීතිවේදී උපාධිය සමාන හා ඇතැම් අවස්ථාවල ඊටත් වඩා උසස් තත්වයක් ඇති බවට තීරණය කර තිබෙනවා. ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද තම නිර්දේශ ලබා දෙමින් නීති අධ්‍යාපන සභාව වෙත පවසා ඇත්තේ අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට හිමිවන සියලු වරප්‍රසාද රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයට ද ලබා දිය යුතු බවටයි.

1981 අංක 68 දරණ කොතලාවල රාජ්‍ය ආරක්ෂක විද්‍යා පීඨ පනත මගින් පිහිටුවා 1988 අංක 27 දරණ සංශෝධනයෙන් විශ්ව විද්‍යාලය තත්ත්වය ලැබූ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨය 2007 අංක 50 දරණ සංශෝධන පනතෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් ද පිරිනමන්නේ සිව් අවුරුදු ශ්‍රී ලාංකික නීතිවේදී උපාධියකි. ශ්‍රී ලංකාවේ සිව් අවුරුදු නීතිවේදී උපාධී පිරිනමන්නේ රජයේ විශ්ව විද්‍යාල 5ක් පමණයි.

  • කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය
  • යාපනය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශය
  • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශය
  • රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨය
  • විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශය

ශ්‍රී ලංකාවේ නීති පීඨයක් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයට සහ රාජ්‍ය ආරක්ෂක විශ්ව විදයාලයට පමණයි. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය අංශ තුනකින් සමන්විත වන අතර රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨය අංශ දෙකකින් සමන්විතයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ තීරණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, නීතිඥ මංගල විජේසිංහ සඳහන් කර ඇත්තේ අධිකරණ ඇමතිවරයාගේ මෙම තීරණය “නිර්භීත හා ඓතිහාසික පියවරක්” බවයි.

Rivira FB Group Rivira Youtube
To Top