දේශීය පුවත්

ඉරාජ් – හරීන් අතර සිදුවූ එන්තරවාසි හුවමාරුව

(RIVIRA.LK, 2020 මැයි 29 පස්වරු 12.13ට)

සංගීතවේදි ඉරාජ් වීරරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා. මේ අතර හරීන් ප්‍රනාන්දු විසින් ද ඉරාජ් වීරරත්න වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඉරාජ්ගේ එන්තරවාසිය

ඉරාජ් වීරරත්න සිය නීතිඥවරයා වන ප්‍රබුද්ධික තිසේරා මගින් මැයි 27 දිනැතිව යොමු කළ එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් මැයි 21 දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සහ සාමාජ ජාලා යොදා ගනිමින් සිය සේවාදායකයා වන සංගීතවේදි ඉරාජ් වීරරත්නට අපහාස වන ආකාරයට විවිධ ප්‍රකාශ සිදු කර ඇති බවයි.

එසේම සිය සේවාදායක ඉරාජ් වීරරත්න, හරීන් ප්‍රනාන්දුගේ එකී ප්‍රකාශ සියල්ල ප්‍රතික්ෂේප කරන බවද එන්තරවාසියේ සඳහන්.

ඒ අනුව දින 14ක් ඇතුලත ඉරාජ් වීරරත්නට සිදු කර ඇති අපහාස සම්බන්ධයෙන් ලිඛිතව සමාව ගත යුතු බවද එම එන්තරවාසිය හරහා හරීන් ප්‍රනාන්දුට දැනුම් දී තිබෙනවා. එලෙස ලිඛිතව සමාව ගැනීමට හරීන් ප්‍රනාන්දු කටයුතු නොකළොත් ඔහුට එරෙහිව ඉදිරියේ දී වන්දි ඉල්ලා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බවද සංගීතවේදි ඉරාජ් වීරරත්නගේ නීතිඥවරයා දන්වා තිබෙනවා.

හරීන්ගේ එන්තරවාසිය

මේ අතර රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ද ඉරාජ් වීරරත්න වෙත එන්තරවාසියක් මැයි 27 දිනැතිව යවා තිබෙනවා. එමගින් ඉරාජ් වීරරත්න විසින් තම කීර්තිනාමයට හානියක් වන පරිදි ප්‍රකාශ නිකුත් කර ඇති බැවින් ඊට එරෙහිව ඔහුට නඩු පැවරීමට කටයුතු කරන බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ බව පැවසුන වීඩියෝවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව මැයි 28 දින ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ දී හරීන් ප්‍රනාන්දු මේ බව පවසා සිටියා.

හරීන් ප්‍රනාන්දු සිය නීතිඥවරයා වන රසානා සාලි මගින් මැයි 27 දිනැතිව යොමු කළ එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ, කාවින්ද ජයවර්ධනගේ යැයි පවසන වීඩියෝ පටයක් තම සේවාදායකයා වන හරීන් ප්‍රනාන්දු විසින් තමන් වෙත යොමුකළ ඇති බව පවසන බවත් එය සනාථ කිරීම සඳහා සාක්ෂි ඇති බවත් පවසා ඇති බවයි.

එසේම සිය සේවාදායක හරීන් ප්‍රනාන්දු, ඉරාජ් වීරරත්නගේ එකී ප්‍රකාශ සියල්ල ප්‍රතික්ෂේප කරන බවද එන්තරවාසියේ සඳහන්.

එසේම ඔහු කියනා පරිදි තම සේවාදායකයා විසින් ඉරාජ් වෙත එවැනි වීඩියෝ පටයක් කිසිඳු ලෙසකින් යොමු නොකළ බවද ලිපියේ සඳහන්. එබැවින් අදාළ ප්‍රකාශ මගින් තම සේවාදායකයාගේ කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි වශයෙන් දින 14ක් තුළ ගෙවන ලෙස ඉරාජ් වීරරත්න වෙත එන්තරවාසිය මගින් දන්වා තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා සිටියේ එලෙස ඉරාජ්ගෙන් ලබා ගන්නා මුදල කොවිඩ්-19 අරමුදලට බැර කරන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top