,
Environment

අති දුර්ලභ “කළු කොටියා” මියයයි

(RIVIRA.LK, 2020 මැයි 29 පස්වරු 12.45ට)

ලක්ෂපාන, වලමලේවත්ත ප්‍රදේශයේ දී මද්දකට හසු වී තුවාල ලබා සිටියදී සොයාගැනුණු දුර්ලභ ගණයේ “කළු කොටියා” මිය ගොස් තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කර සිටියේ අදාළ සත්ත්වයා උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා ගෙන ප්‍රතිකාර කරමින් සිටිය දී මැයි 29 දින පෙරවරුවේ මියගිය බවයි.

සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත කළු කොටියාගේ සිරුර රැගෙන ඒමෙන් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පියවර ගන්නා බව වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

හැටන්, නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලේවත්ත කොටසේ වතු කෝවිල අසළ එළවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මද්දකට මැයි 26 දින එම කළු කොටියා හසු වී සිටි අතර එදින දහවල් වනජීවී නිලධාරීන් එම ස්ථානයට ගොස් සත්ත්වයාව නිරුපද්‍රිතව බේරගෙන තිබුණා.

ජාන විකෘතියක් හේතුවෙන් අදාළ කොටියා කළු පැහැති වී තිබෙන බවත් අනෙක් සතුන් එක්ක සංසන්දනය කිරීමේ දී මෙවැනි සතුන් සිටින්නේ 1% පමණක් බවත් එහිදී සඳහන් උනා.

ලොව වෙසෙන කොටින් වර්ග 8ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උප විශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමීත ගහණය හේතුවෙන් බවද වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කර සිටියා.

මෙම සත්ත්වයා ශ්‍රී ලංකාව තුළ ජීවමානව නොසිටින බවට මීට පෙර විශ්වාස කළ ද එම මතය වෙනස් කරමින් පසුගිය ජනවාරී මාසයේදී කළු කොටියෙකු පිළිබඳ සාක්ෂි වාර්තා වී තිබුණේ ද මෙම කළු කොටියා හමු වූ ස්ථානයට කිලෝ මීටර් 10 ක පමණ දුරකින් බවද සඳහන් උනා. ඒ වන ජීවී දෙපාර්තමේන්තුව සවි කළ දුරස්ථ චලන සංවේදී කැමරාවක 2019 වසරේ ඔක්තොම්බර් මස 26 වෙනිදා කළු කොටියෙකු සටහන්ව තිබීමත් සමගයි.

කෙසේ වෙතත් අනතුරට ලක්ව ඇත්තේ එලෙස කැමරාවල සටහන් වූ කළු කොටියාද යන්න තවමත් තහවුරු වී නොමැති බව වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කළා.

Rivira Ads
To Top