දේශපාලන

සජිත් ප්‍රමුඛ සජබ සාමාජිකයින්ගේ එජාප සාමාජිකත්වය අහෝසියි, පාර්ලිමේන්තුව කැඳෙව්වත් සජිත්ලට පාර්ලිමේන්තු එන්න බැරි වෙයි?

(RIVIRA.LK, 2020 මැයි 29 පස්වරු 02.47ට)

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා භාරදුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීම අනුමත කරමින් ඔවුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මැයි 29 දින තීරණය කර තිබෙනවා.

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් “සමගි ජන බලවේගය” පක්ෂයෙන් නාමයෝජනා ලබා දී ඇති එජාප සාමාජිකයින් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය මීට පෙර තීරණය කර තිබුණි.

මේ අතරට පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සිටී.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෙනත් පක්ෂවලින් නාමයෝජනා බාර දී ඇති සාමාජිකයින්ගෙන් මේ වන විටත් නිදහසට කරුණු විමසා ඇති බවත්, ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර අවසන් තීරණය ගන්නා බවයි.

එම නිවේදනයෙන් මහලේකම්වරයා කියා සිටියේ එලෙස වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා අත්සන් කළ බොහෝ සාමාජිකයින් දැනටමත් එම තීරණ පිළිබඳ සිය පසුතැවිල්ල තමන් වෙත දන්වා එවා ඇති බවයි.

ඒ අනුව අදාළ සාමාජිකයින්ගෙන් ඊට අදාළව නිදහසට කරුණු විමසා ඇති බවත් ඒවා සියල්ල පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කර, සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි.

ඒ අනුව මැයි 29 දින රැස්වූ එජාප කෘත්‍යාධීකාරි මණ්ඩලයේ දී 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 60කට ආසන්න පිරිසකගේත් පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරු ඇතුලු පිරිසකගේ සාමාජිකත්වය අහෝසි වී තිබෙනවා.

මේ තත්වය තුළ පාර්ලිමේන්තුව නැවත කැඳවීමක දී පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ මන්ත්‍රීවරුන්ට ඒ සඳහා සහභාගී වීම ගැටළුක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව මැතිවරණ කොමිසම වෙත එජාප මහලේකම්වරයා දැනුම් දුන්නොත් පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගෙන ඇත්නම් ඒ සඳහා අභියෝග කළ නොහැකි බවයි.

එනම් මෙතෙක් කලක් පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන නැති බවත් එසේ සිදුවී ඇත්තේ එක් අවස්ථාවක දී පමණක් බවත් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ 2018 වසරේ දී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් විටයි. එහෙත් එම අවස්ථාවේ දී සන්ධාන මහලේකම්වරයා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව මැතිවරණ කොමිසමට දැන්වූයේ නැති බවත් ඊට ව්‍යංග අවසරයක් ලබා දී තිබූ බවත් දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අවස්ථාවේදී එජාප මහලේකම්වරයා පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව මැතිවරණ කොමිසමට දැන්වුවහොත් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ගත් පිරිස්වලට එම තීරණයට එරෙහිව අධිකරණය හමුවට හෝ ගොස් සහනයක් ලබාගත නොහැකි වනු ඇති බවයි. ඒ ඔවුන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගෙන ඇති බැවින් යැයි ද දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කළා.

ඒ අනුව ලැයිස්තුවල ඊළඟට සිටින අයට අවස්ථාව ලැබෙන බවද ඔවුන් පෙන්වා දුන්නා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට එජාප මහලේකම්වරයා ඇමතීමට ගත් උත්සාහයන් ව්‍යර්ත විය.

Rivira FB Group Rivira Youtube
To Top