විදේශ

ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය යෑමෙන් පසු ඇමරිකාවේ නැගී එන තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව

(RIVIRA.LK, 2020 මැයි 31 පස්වරු 09.32ට)

පොලිස් අත්අඩංගුවේ පසු වූ කළු ජාතිකයෙකුගේ මරණයක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවයන් වළක්වා ගැනීමට එක්සත් ජනපදය පුරා නගරවල ඇඳිරි නීතිය පනවා තිබේ. මීට පාදක වූ සිදුවීම මැයි 25 සඳුදා සිදුවූ අතර අතර මැයි 31 දින වන විටත් ගැටුම් ඇති වෙමින් තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් ද දැඩි පීඩාවකට පත්ව සිටින ඇමරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් ප්‍රාන්තයේ සිදු වූ මෙම සිදුවීමෙන් පසු සාප්පු මංකොල්ලකෑම, කාර් පුළුස්සා දැමීම සහ ගොඩනැගිලිවලට පහර දීම වැනි බොහෝ ප්‍රචන්ඩකාරී සිදුවීම් තවමත් සිදුවෙමින් පවතිනවා.

මෙම සියලු සිදුවීම්වලට හේතු වූයේ මිනියාපොලිස්හි දී 46 හැවිරිදි කළු ජාතිකයෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම වන අතර එම ඝාතනය සම්බන්ධයෙන් සුදු ජාතික පොලිස් නිලධාරියෙකු වන චාවින් වෙත චෝදනා එල්ල වී තිබේ.

44 හැවිරිදි සුදු ජාතික පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් චාවින් ජුනි 01 සඳුදා අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

වීඩියෝ දර්ශනවල, චාවින් මහතා සඳුදා මිනිත්තු කිහිපයක් ෆ්ලොයිඩ් මහතාගේ බෙල්ලේ දණ ගසා සිටිනු දැකිය හැකිය. ෆ්ලොයිඩ් මහතා නැවත නැවතත් පවසන්නේ ඔහුට හුස්ම ගැනීමට නොහැකි බවයි.

විරෝධතාවල නවතම තත්වය කුමක්ද?

එක්සත් ජනපදය පුරා අවම වශයෙන් නගර 30කවත් විශාල උද්ඝෝෂණ සිදු වෙමින් තිබෙනවා. මැයි 30 සෙනසුරාදා වන විට ඔවුන් බොහෝ දුරට සාමකාමී වූ නමුත් පසු දින යළි ප්‍රචණ්ඩත්වය ඇවිළී ගියේය.

නොසන්සුන්තාවයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ නගරවලින් එකක් වන්නේ ලොස් ඇන්ජලීස් ය. කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් නගරයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, ජාතික හදිසි ආරක්ෂක බලකාය සක්‍රීය කළේය.

මුළු නගරයම රාත්‍රී කාලයේ දී ඇඳිරි නීතිය යටතේ පවතී. සුප්‍රසිද්ධ සිල්ලර වෙළඳසැල් වන මෙල්රෝස් සහ ෆෙයාර්ෆැක්ස් ඇතුළු බොහෝ වෙළඳසැල් කොල්ලකෑමට ලක්ව ඇති අතර ඩ්‍රොන කැමරා දර්ශනවලට අනුව ගිනිගෙන දැවෙන බව පෙන්නුම් කරයි. මීට පෙර පොලිසිය විසින් රබර් උණ්ඩ භාවිතා කර වෙඩි තැබීමෙන් හා බැටන් පොලු වලින් විරෝධතාකරුවන්ට පහර දුන්නේය. මේ වන විටත් සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ.

නගරාධිපති එරික් ගාර්සෙටි පවසා ඇත්තේ රොඩ්නි කිංට පහරදීම සම්බන්ධයෙන් පොලිසිය නිදොස් කොට නිදහස් කිරීම නිසා 1992 දී ඇති වූ කැරලි කෝලාහලවලින් පසුව මෙය “මම අත්විඳින ලද දරුණුතම මොහොත” බවයි.

ජායාරූපය – අත්ලන්තා හි පැවති උද්ඝෝෂණයකදී පොලිස් ස්ථානයක් අසල ගිනිකෙළි පුපුරා ගියේය. (බීබීසී)

නිව් යෝර්ක්හි පොලිස් කාර් 20 ක් පමණ පුළුස්සා දමා ඇති අතර බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතාකරුවන් පිරිසක් වෙත පොලිස් මෝටර් රථයක් පදවාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් ද තිබේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් මියගිය මිනියාපොලිස්හි මේ වන ප්‍රචණ්ඩත්වය යම් තරමකට අඩු වී තිබේ. ජාතික ආරක්ෂක නිලධාරීන් 700 ක් පමණ පොලීසියට සහය ලබා දෙයි.

ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ කුමක්ද?

මැයි 30 සෙනසුරාදා සවස ට්‍රම්ප් කියා සිටියේ ෆ්ලොයිඩ්ගේ මරණය නිසා ඇමරිකානුවන් භීතියෙන්, කෝපයෙන් හා ශෝකයෙන් පිරී ඇති බවයි.

කෝටිපති එලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් සමාගම විසින් නාසා ගගනගාමීන් දෙදෙනෙකු කක්ෂගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි රූපවාහිනී දේශනයකදී ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ “සාමය සොයන සෑම ඇමරිකානුවෙකුටම මම මිතුරෙකු ලෙස සහ සගයෙක් ලෙස සිටිමි” යනුවෙනි.

ඇමරිකාව තුළ කැරලි කෝලහාල ඇති කරමින් සිටින පිරිස ගැන සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ “කොල්ලකරුවන්ගේ හා අරාජිකවාදීන්ගේ” ක්‍රියාව ෆ්ලොයිඩ්ගේ මතකය අගෞරවයට පත් කිරීමට ගන්නා උත්සාහයක් බවට චෝදනා කළේය .

එමෙන්ම “කෝපාවිෂ්ට මැරයන්ට” ආධිපත්‍යය පැතිරවීමට තමන් ඉඩ නොදෙන බව ද ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.

තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඇති වූ නරකම සිදුවීම් මෙය බව පැවසූ ජනාධිපති ට්‍රම්ප්, විරෝධතා පාලනය කිරීමට අපොහොසත් වීම ගැන ඩිමොක්‍රටික් සාමාජිකයෙකු වන මිනියාපොලිස් නගරාධිපතිවරයාට දොස් පවරා තිබේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ට මොකද වුණේ?

ජෝර්ජ් ෆ්ලොයිඩ් යනු ඇමරිකානු කළු ජාතික පුද්ගලයෙකු වන අතර ඔහු විසින් ව්‍යාජ ඩොලර් 20 නෝට්ටුවකින් මුදල් ගෙවා ඇති බවට චෝදනා කරමින් මැයි 25 සඳුදා රාත්‍රියේ අසල්වැසි සිල්ලර වෙළඳසැලකින් පොලීසියට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

ඒ අනුව ඔහුව පොලිස් රථයකට නංවා ගැනීමට සූදානම් වෙද්දි ඔහු රථය අසළ බිම වැටී සිටින දර්ශනයක් පටිගත වී තිබෙනවා. එම අවස්ථාවේ දී ඔහුව රථයට ඔසවා තැබීමට නිලධාරීන් උත්සාහ කරමින් සිටිය ද ඔහු තදබල ලෙස පොළොවට ඇදෙමින් සිටි බව පොලීසිය කියා සිටියා.

පොලිසිය පවසන පරිදි ඔහු නිලධාරීන්ට තම විරෝධය පළ කර ඇති අතර එහි දී ඔහුට මාංචු දමා ඇත. සිද්ධියට අදාළ වීඩියෝ පටයක් තිබුණ ද එහි ගැටුම ආරම්භ වූ ආකාරය දැක්වෙන්නේ නැත.

පොලිස් නිලධාරී චාවින්ගේ දණහිස ෆ්ලොයිඩ්ගේ ගෙලට තද කරගෙන සිටින අයුරු එම වීඩියෝවේ දැක්වෙන අතර එහි දී ෆ්ලොයිඩ් විසින් “මට හුස්ම ගන්න බැහැ” සහ “මාව මරන්න එපා” යනුවෙන් පවසන අයුරු ඇසෙනු ඇත.

සිදුවීමට අදාළ සම්පූර්ණ වීඩියෝපටය ඉහළින් දැක්වේ. උපුටා ගැනීම එන්බීසී පුවත් සේවයෙන්.

ෆ්ලොයිඩ්ගේ මරණ පරීක්ෂණය සිදුකළ ප්‍රාන්ත වෛද්‍ය පරීක්ෂකගේ මූලික මරණ පරීක්ෂණයකට අනුව, පොලිස් නිලධාරියා ෆ්ලොයිඩ්ගේ බෙල්ල මත ඔහුගේ දණහිස මිනිත්තු අටකුත් හා තත්පර 46 ක් තබාගෙන සිට ඇත.

පොලිස් නිලධාරී චාවින් සිය දණහිස ඉවත් කිරීමට මිනිත්තු දෙකකට ආසන්න කාලයකට පෙර අනෙක් නිලධාරීන් විසින් ෆ්ලොයිඩ්ගේ දකුණු මැණික් කටුව පරීක්ෂා කළ ද නාඩි වැටෙන බව හඳුනාගැනීමට නොහැකි විය. ඔහුව රෝහලට ගෙන ගොස් පැයකට පමණ පසු මියගිය බව ප්‍රකාශ විය.

මේ වන විට පොලිස් නිලධාරී චාවින්ට එරෙහිව සාපරාධී චෝදනා ඇතුළත් කර ඇති අතර මූලික මරණ පරීක්ෂණයෙන් “කම්පන සහගත හුස්ම හිරවීම හෝ ගෙල සිර කිරීම” පිළිබඳ සාක්ෂි හමු නොවූ බව සඳහන් වේ.

වෛද්‍ය පරීක්ෂකවරයා සඳහන් කර ඇත්තේ ෆ්ලොයිඩ්ට පවතින හෘද රෝග තත්ත්වයන් සහ “ඔහුගේ ශරීරයේ ඇති මත්ද්‍රව්‍ය” සංයෝජනය සහ නිලධාරීන් විසින් වළක්වාලීමට උත්සාහ කිරීම “ඔහුගේ මරණයට හේතු වන්නට ඇති” බවයි.

ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරී චාවින්ට තුන්වන ඝනයේ මිනි මැරීම සහ දෙවන ඝනයේ මනුෂ්‍ය ඝාතන චෝදනා මැයි 29 සිකුරාදා වන විට ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් ෆ්ලොයිඩ්ගේ පවුලේ අය කියා සිටියේ අදාළ නිලධාරියාට වඩාත් බරපතල, පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවක් මෙන්ම ඊට සම්බන්ධ අනෙක් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවයි.

හෙනපින් ප්‍රාන්තයේ රජයේ නීතිඥ මයික් ෆ්‍රීමන් කියා සිටියේ තමා අනෙක් නිලධාරීන් සඳහා ද චෝදනා ගොනු කරන බවයි. නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරිපත් කර නැත.

-බීබීසී පුවත් සේවයේ වාර්තාවක් ඇසුරින්

Rivira FB Group Rivira Youtube
To Top