දේශීය පුවත්

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඉකුත් මාර්තු මස 02 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්, නාමයෝජනා භාර ගැනීම, මැතිවරණය පැවැත්වීම, නව පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් දින නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. අප්‍රේල් මස 25 දින මැතිවරණය පැවැත්විය නොහැකි බැවින් ජූනි මස 20 දින මැතිවරණය පවත්වන බව පවසමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

මේ ගැසට් නිවේදන දෙක මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 08ක් ගොනු කර තිබුණි. නීතිඥ චරිත ගුණරත්න, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජනබලවේගය පෙත්සම්කරුවෝ ඒ අතර වූහ.

එම පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ව්‍යාපාරික සම්පත් මෙරින්නගේ, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත ඇතුළු පිරිසක් විසින් අතරමැදි පාර්ශ්ව පෙත්සම් 15ක් ඉදිරිපත් කර තිබුණි.

මේ පෙත්සම් විභාගය අතරතුර පෙත්සම්වල වගඋත්තරකරුවකු වූ මැතිවරණ කොමිසම ඡන්ද විමසීම ජූනි මස 20 දින පැවැත්විය නොහැකි බවට අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව තමන් ඉල්ලා සිටින සහනය ලැබී ඇති නිසා සිය පෙත්සම පවත්වාගෙන නොයන බව නීතිඥ චරිත ගුණරත්න මහතාගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම්කරුවන්, වගඋත්තරකරුවන්, අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම මැයි මස 29 වැනි සිකුරාදා අවසන් විය.

නැවත කරුණු දැක්වීම් ජුනි මස 02 වන සඳුදා දින සිදු කිරීමත් සමඟ පෙත්සම් සියල්ල සළකාබැලීම අවසන් කළ අධිකරණය පෙත්සම් විභාගයට ගැනීම පිළිබඳ තීන්දුව ජුනි 02 වන දින සවස 3.00ට ප්‍රකාශ කරන බව සඳහන් කෙළේය.

සම්බන්ධිත පුවත් – Live Updates – ජුනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගයේ නවතම තත්වය (වීඩියෝ)

Rivira FB Group Rivira Youtube
To Top