දේශීය පුවත්

රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතීවේදීන් “යුක්තිසහගත හා අවසානාත්මක” තීන්දුවක් ඉල්ලයි

(RIVIRA.LK, 2020 ජුනි 03 පස්වරු 01.40ට)

ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියට ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ලැබිය යුතු නිසි පිළිගැනීම සම්බන්ධව කේඩීයූ නීති සංගමයෙන් ජුනි 03 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් කේඩීයූ නීති සංගමය පවසන්නේ රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියට, ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ලැබිය යුතු නිසි පිළිගැනීම තවමත් ලැබී නැති බවයි. එහෙත් එම ගැටලුව විසඳීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වන නීතීඥ නිමල් සිරිපාල ද සිල්වා විසින් එම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය “විධානයක්” සංස්ථාගත නීති අධ්‍යාපන සභාව වෙත ලිඛිතව යොමු කොට ඇති බව ද සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අපේක්ෂා කර සිටින්නේ අමාත්‍යවරයාගේ “විධානය” හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යොමු කර ඇති නිර්දේශ සළකා බලා රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් දීර්ග කාලයක් තිස්සේ මුහුණ දුන් මෙම ගැටලූව සඳහා සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් “යුක්තිසහගත” සහ “අවසානාත්මක” තීන්දුවක් ගනු ඇති බවයි.

සම්පූර්ණ නිවේදනය පහතින්

“ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, 1981 අංක 68 දරන ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පනතින් පිහිටුවා, 1988 අංක 27 දරන සංශෝධන පනතින් විශ්වවිද්‍යාලයක් බවට පත්වූ අතර, 2007 අංක 50 දරන සංශෝධන පනතින් ජෙනරාල් ශ‍්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබේ.

ත‍්‍රිවිධ හමුදාවට ශාස්ත‍්‍රීය දැනුමින් සන්නද්ධ වෘත්තිකයින් බිහි කිරීම අරමුණු කරගනිමින් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කළ අතර 30 වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතාගේ මග පෙන්වීම යටතේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අවස්ථා පුළුල් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව, 2011 වර්ෂයේ දී රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ නීති පීඨයක් ආරම්භ කළ අතර එම නීති පීඨය මගින් ශ‍්‍රී ලාංකීය නීති විෂය නිර්දේශය මුලික කොටගත් නීතිවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කරනු ලැබීය.

ඒ අතරම, විශ්වවිද්‍යාලය පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස අංග සම්පුර්ණ රෝහලක් සහිත අංග සම්පුර්ණ වෛද්‍ය පීඨයක් සමග තවත් පීඨ 10 ක් හා හම්බන්තොට ස්ථාපිත කළ දක්ෂිණ මණ්ඩපය ද සහිතව දැවැන්ත විශ්වවිද්‍යාලයක් බවට රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය මේ වන විට පත්ව ඇත. එමෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අමතරව නීති පීඨයක් සහිත එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය වන්නේ කොළඹ විශ්වවිද්‍යාලය යි. පේරාදෙණිය, යාපනය හා විවෘත විශ්වවිද්‍යාලය සතුව නීති අධ්‍යනාංශ පවතී.

එවැනි තත්වයක් තුළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ශ‍්‍රී ලාංකීය නීතිවේදී උපාධියට ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය තුළ දී අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන ශ‍්‍රී ලාංකීය නීතිවේදී උපාධියට ලබා දෙන පිළි ගැනීම ලබා දිය යුතු වුවත්, එකී නිසි පිළිගැනීම මේ වන තෙක් ලබා නොදෙමින් විදේශීය නීතිවේදී උපාධියකට හිමි පිළිගැනීම පමණක් ලබා දීමට ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය මගින් කටයුතු කර ඇත.

ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයේ නිසි පිළිගැනීම ලබා ගැනීම සදහා සම්පුර්ණ කළ යුතු සියලූ අවශ්‍යතා රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සපුරා තිබූ තත්වය තුළ ඒ බව තහවුරු කරමින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් ගුණාත්මකභාවය පිළිබද තත්ත්ව වාර්තාවක් ද ලබා දී තිබිණි. 2014 මැයි 09 දිනැති එම වාර්තාව මගින් ද විශ්වවිද්‍යාලය සහ නීතිවේදී උපාධිය “විශිෂ්ට” තත්වයේ පවතින බව සහතික කොට තිබිණි.

නමුත් එවැනි තත්වයක් තුළ ද ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ශ‍්‍රී ලාංකීය නීතිවේදී උපාධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය ප‍්‍රතිපාදන කොමිසමේ නිර්දේශය ඉල්ලා ලිපියක් යොමුකර තිබූ අතර ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් එහි නීති අධ්‍යයන කමිටුවේ ප‍්‍රධානී ආචාර්ය වික‍්‍රම වීරසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත්කළ කමිටුවක් මගින් විශේෂ වාර්තාවක් කැඳවීය. ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය පිළිබඳව සිදුකළ දීර්ග අධ්‍යනයකින් පසු ඔහු විසින් ලබා දුන් වාර්තාව මත පදනම් වී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා විසින් ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය වෙත 2016 ජූලි 26 දිනැති ලිපියෙන් දන්වා තිබුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හී නීතිවේදී උපාධියට සමාන ගුණාත්මකභාවයකින් යුක්ත බවත්, එබැවින් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් මගින් පිරිනමන නීතිවේදී උපාධියට සමාන පිළිගැනීමක් ශ‍්‍රී ලංකා නිති විද්‍යාලය තුළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් හට ද හිමි විය යුතු බව යි.

මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එම ලිපිය මගින් වැඩි දුරටත් නිර්දේශ කොට ඇත්තේ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හී නීතිවේදීන් හට මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදීන්ට හටද ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය තුළ පළමු වසර සහ දෙවැනි වසර විභාගයන්ගෙන් නිදහස් කර අවසන් වසර විභාගයට පමණක් පෙනී සිටීමේ අවස්ථාව ලබා දිය යුතු බවට ඔවුන් විසින් දැඩිව නිර්දේශ කරන බව යි. ශ‍්‍රී ලංකාව තුළ උපාධි පාඨමාලාවක් නියාමනය, පාලනය හා ගුණාත්මකභාවය තීරණය කිරීමේ තනි හා අනන්‍ය බලය හිමි ආයතනය ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ලබා දෙන මෙම නිර්දේශය පිළිගනිමින් එයට අනුව ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය තුළ අවශය නිසි පිළිගැනීම ලබා දීම ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයේ පරිපාලන අධිකාරිය වන සංස්ථාගත නීති අධ්‍යාපන සභාව මගින් සිදු කළ යුතුව තිබිණි.
එහෙත් ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය මගින් මේ පිලිබදව නිසි තීරණයක් ලබා නොදෙමින් අදාළ නිර්දේශ ප‍්‍රතික්ෂේප කිරීමට කටයුතු කරනු ලැබ තිබූ අතර එමගින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් මහත් අපහසුතාවයකට පත් විය.

පසුව මෙම ගැටලූව සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් හට සාධාරණය ඉටු කර දෙන මෙන් රජයේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග 2020 පෙබරවාරි 10 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී සියලූ බලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

ඉන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් වන නීතිඥවරුන් හා නීතිඥවරියන්ගෙන් සැදුම්ලත් අප සංගමය විසින් මෙම ගැටලූව පිළිබඳව අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වන නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානයට යොමු කරන ලදී. එතුමන් විසින් ඉහත කී සියලූ වාර්තා අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම උපාධිධාරීන් මුහුණදෙන ගැටලූව හා සිදුවී ඇති අසාධාරණය නිසි ලෙස අවබෝධ කොට ගෙන සංස්ථාගත නීති අධ්‍යයන සභා පනතේ 7 වන වගන්තිය ප‍්‍රකාරව ඔහු වෙත හිමි වී ඇති බලතල අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ ද සැළකිල්ලට ගනිමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් හට ලැබිය යුතු නිසි පිළිගැනීම ලබා දීම සදහා ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයේ රීති මාලාවේ 75 වන රීතිය සංශෝධනය කරන මෙන් සංස්ථාගත නීති අධ්‍යන සභාව වෙත 2020 මැයි 28 දිනැතිව ලිඛිත විධානයක් නිකුත් කොට තිබේ.

දීර්ග කාලයක් තිස්සේ අදාළ බලධාරීන් විසින් කිසිදු පිළිතුරක් ලබා නොදෙමින් තිබුණු මෙම ගැටලූව විසදීම සදහා මුලික පියවර තබමින් ශ‍්‍රී ලාංකීය දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් නිසි තීරණ ගත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත හා වත්මන් අධිකරණ, මානව හිමිකම් සහ නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සමස්ත නීතිවේදී උපාධිධාරීන් හා උපාධි හදාරන නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අප සංගමයේ විශේෂ ස්තූතිය හා කෘතඥතාවය පළ කර සිටින්නෙමු.

එසේම ඉහත කී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ හා විෂය භාර අමාත්‍යවරයාගේ විධානය ද ඇතුළු සියලූ කරුණු සළකා බලා සංස්ථාගත නීති අධ්‍යාපන සභාව මගින් රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන් දීර්ග කාලයක් තිස්සේ මුහුණ දුන් මෙම ගැටලූව සඳහා යුක්ති සහගත හා අවසානාත්මක විසඳුමක් ලබා දෙමින් එකී නීතිවේදී උපාධිය ට ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුළ ලැබිය යුතු නිසි පිළිගැනීම තහවුරු කර දෙනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු.

ස්තූතියි”

සම්බන්ධිත පුවත්

Rivira FB Group Rivira Youtube
To Top