කොවිඩ්-19

රටට පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණයට ලක්ව ප්‍රතිඵල ලැබෙන තුරු වෙනම තැනකට, ආගමන කටයුතු ඉන් පසුවට

(RIVIRA.LK, 2020 ජුනි 04 පස්වරු 06.39ට)

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන් සඳහා PCR පරීක්ෂණ සිදුකරන ලෙසත්, ඉන්පසු අවශ්‍ය පරිදි නිරෝධායන කටයුතු සඳහා යොමු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුනි 04 බ්‍රහස්පතින්දා උපදෙස් දී තිබෙනවා.

කොවිඩ්-19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.

“එසේම ආගමන ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට පෙර අදාළ පීසීආර් පරීක්ෂණය සිදු කරන ලෙසත් ප්‍රතිඵල නිකුත් වන තුරු වෙනම ස්ථානයකට මගීන් යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ” යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේම වසංගතය දිගු කලක් පැවතිය හැකි බැවින් ගුවන් තොටුපලේදී PCR පරීක්ෂණ සිදු කිරීම හා ප්‍රතිඵල ඉක්මණින් නිකුත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එසේම විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමුකිරීමට හා එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ට හැකි ඉක්මණින් ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Rivira FB Group Rivira Youtube
To Top