ව්‍යාපාර

“ද ෆිනෑන්ස්” තැන්පතුකරුවන්ට ගෙවීම ජුනි 07 සිට

(RIVIRA.LK, 2020 ජුනි 05 පෙරවරු 11.22ට)

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ වූ ප්‍රතිපාදනයන්ට අනුව “ද ‍ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී.” ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතුවල නියැලීම සඳහා ලබා දී තිබූ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.05.20 වන දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පවතින ප්‍රතිපාදන අනුව රක්ෂණය වී ඇති සියලු ම තැන්පත්කරුවන්ට රුපියල් 600,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

කෙසේ වෙතත් රු. 600,000ට වැඩි තැන්පතු සඳහා වන නො ගෙවූ ශේෂයක් වෙතොත් “ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී.” ආයතනයේ වත්කම් ඈවර කිරීමෙන් පසු ප්‍රමුඛතා පදනම මත එකී මුදල් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම කටයුත්ත සඳහා පත් කර ඇති නියෝජිත බැංකු ආයතනය වන මහජන බැංකුව මගින් වන්දි මුදල් ගෙවීම සිදු කරනු ලැබේ. “ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී.” ආයතනයේ ශාඛා පැවති ප්‍රදේශයන්හි පිහිටා ඇති මහජන බැංකු ශාඛා මගින් පළමු අදියරේ ගෙවීම් කටයුතු එක් ගිණුමක් පමණක් හිමි තනි පුද්ගල තැන්පත්කරුවන් සඳහා 2020 ජූනි මස 07 දින සිට ආරම්භ කරනු ලැබේ.

ඒ අනුව එම ගෙවීම් ජුනි 07 දින සිට මහජන බැංකු ශාඛා 60ක් මගින් සිදුකිරීමට නියමිත බව රජය නිවේදනය කරයි. එහි දී තැන්පතුව තිබූ “ද ෆිනෑන්ස්” ආයතනයේ ශාඛාවට ළඟම මහජන බැංකුව හරහා අදාළ ගෙවීම් සිදු කරනු ඇත.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.

මහජන බැංකුව : 0112-481594, 0112-481320, 0112-481612, 0112-481703

ශ්‍රී ලංකා මහ බැංකුව : 011-2398788, 0112-477261

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top