විදේශ

ඉතාලිය අභිබවා ඉන්දියාව කොරෝනා ලැයිස්තුවේ 6 වැනි තැනට

Photo - Sivaram V/Reuters

(RIVIRA.LK, 2020 ජුනි 06 පස්වරු 01.43ට)

ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදිත වු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන රටවල් අතර 6 වැනි තැනට ඉන්දියාව පත් වී තිබේ. දකුණු ආසියානු කලාපයේ වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන ඉන්දියාවෙන් පසුගිය දින කිහිපය තුළ දී සීඝ්‍ර රෝග ව්‍යාප්තියක් දක්නට ලැබුණි.

ඒ අනුව, මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 236,954ක් වේ. කොරෝනා ව්‍යාප්තිය සිදු වූ මුල් කාලයේ දැඩි බලපෑමක් එල්ල වූ යුරෝපානු කලාපයේ ඉතාලියෙන් වාර්තා වන රෝගීන් ප්‍රමාණය 234,531ක් වේ.

ගත වූ පැය 24 තුළ දී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 9471 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පුද්ගලයින් 286 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබේ.

කෝවිඩ් – 19 හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ ජීවිතක්ෂයට පත් වී ඇති සමස්ත පුද්ගලයින් ගණන 6649ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 113,233ක් සුවය ලබා ඇත.

මේ වන විටත් ලොව වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වේ. කෙසේ වෙතත්, මේ වෙද්දී එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාවේ අඩු වීමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමරිකා එක්සත් ජනපදයෙන් දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 19 ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ජිවිතක්ෂයට පත් වී ඇති සංඛ්‍යාව 111,390ක් වේ.

ලොව පුරා මේ වෙන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන මිලියන 6.8 ඉක්මවා ගොස් ඇත. කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 398,483 දෙදෙනකුට තම දිවි අහිමි වී තිබේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top