,
Covid-19

ලාංකික ශ්‍රමිකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ නොමිලේ සිදු කිරීමට ලෙබනනය එකඟ වෙයි

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සහ ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණි බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකිකයින් 300 කට අධික පිරිසක් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ද තානාපතිවරිය මෙහිදී පවසා තිබේ. මොවුන් සංක්‍රමණික කම්කරුවන් ලෙස එරට රැදී සිටින අතර ඔවුන්ට සේවා නොලැබීම, වැටුප් ගැටලු සහ සෞඛ්‍ය ගැටලු පවතින බවට මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඊට ලබා දිය හැකි විසදුම් සම්බන්ධයෙන් ද ලෙබනන් කම්කරු අමාත්‍යවරිය ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුවත් කර තිබේ.

කෙසේවෙතත්, ලෙබනනයේ පී.සී.ආර් පරීක්ෂණයක් සදහා ඩොලර් සියයක මුදලක් අය කෙරෙන අතර ලෙබනන් කම්කරු අමාත්‍යවරිය පවසා ඇත්තේ ශ්‍රී ලාංකිකයින් සදහා ඩොලර් 20 ක ඉතා අවම මුදලක් යටතේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවස්ථාව සලසා දිය හැකි බවයි.

එහෙත් මේ පිළිබඳව වැඩිදුර සිදු කරන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයින්ට නොමිලයේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවස්ථාව ලබා දීමට ලෙබනන් කම්කරු අමාත්‍යවරිය කැමැත්ත පල කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

අදාළ පී.සී.ආර් පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා බිරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයන් ද හඳුන්වා දීමට නියමිතව තිබෙන අතර ඒ හරහා ලෙබනන කම්කරු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් මෙරටට පැමිණීමට පෙර ලාංකික ශ්‍රමිකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.

Rivira Ads
To Top