දේශීය පුවත්

අද පැවැත්වෙන පෙරහුරු මැතිවරණය

(RIVIRA.LK, 2020 ජුනි 07 පෙරවරු 11.31ට)

නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය ජුනි මස 07 වන ඉරිදා දින පෙරවරු 10.00 සිට 12.00 දක්වා පැවැත්වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන බවයි. මෙම විශේෂ මැතිවරණ පෙරහුරුව සදහා ඡන්ද දායකයින් 200ක පමණ පිරිසක් යොදා ගෙන ඇත.

සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධයස්ථාන පවත්වාගෙන යාමේ දී මතුවිය හැකි ගැටලු හදුනාගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණයි.

මෙහිදි සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඡන්ද මධ්‍යස්ථාන සකස් කරගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගත වන කාලය පිළිබදව පරික්ෂා කිරීමට නියමිතයි. එමෙන්ම, මෙම වැඩපිළිවෙල සඳහා යන වියදම පිළිබඳව ද අවබෝධයක් ලබා ගැනීමට නියමිතයි.

දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිත කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලා ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙල සඳහා යෝජනා ඉදිරිපත් කරමින් පැෆරල් සංවිධානය පවසන්නේ වැඩිහිටියන් සහ ගර්භනී කාන්තාවන් වැනි අවදානම් කණ්ඩායම් සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට වෙනම වේලාවක් වෙන්කිරීම සුදුසු බවයි. එමෙන්ම, ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පෑනක් හෝ පැන්සලක් පෞද්ගලිකව රැගෙන ඒමට ඡන්දදායකයන්ට අවසර දිය හැකි බව ද ඡන්ද මධ්‍යස්ථාන ගණන වැඩි කිරීම ද පැෆරල් සංවිධානය විසින් යෝජනා කරයි.

Rivira FB Group Rivira Youtube
To Top