විදේශ

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය ලතින් ඇමරිකාවයි

Photo-REUTERS/Bruno Kelly

(RIVIRA.LK, 2020 ජුනි 08 පෙරවරු 11.48ට)

මේ වන විට වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ ලතින් ඇමරිකාවයි. එම කලාපයේ සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂ 12 ඉක්මවන අතර වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවයි. ඒ අනුව ලතින් අමෙරිකාව කොවිඩ් වසංගතයට එරෙහි සටනින් පරාජයට පත්වෙමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, කලාපයේ බොහෝ රටවල කොවිඩ්-19 හඳුනාගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ අවම මට්ටමක පැවතීම හා මරණ රැසක් වාර්තා අතරට එක්ව නොතිබීම හේතුවෙන් මෙම සංඛ්‍යා දත්ත වෙනස්වීමට ඉඩ ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

ලොව දෙවැනි තැනට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති ලතින් අමෙරිකානු කලාපයේ වැඩිම කොවිඩ් බලපෑමට ලක්වූ රට වන්නේ ද බ්‍රසීලයයි. ගතවූ පැය 24 තුළදී එරටින් වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 542 ක් වේ. ඒ සමඟ බ්‍රසීලයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 36,499 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ජුනි 08 වන සඳුදා වන විට හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හය ලක්ෂ අනූ එක්දහස ඉක්මවා ගොස් තිබේ.

ජුනි 20 වන දා වන විට බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් ගණන මිලියනයට සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 50,000ට ලඟා වනු ඇතැයි ද නවතම අධ්‍යයනයකින් පුරෝකථනය කර තිබේ.

කෙසේ වෙතත්, බ්‍රසීලයේ ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ රජය කොරෝනා වසංගතය මැඩලීම සඳහා කටයුතු කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන එල්ල වීමත් සමඟම පසුගිය මාසවලදී බ්‍රසීලයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳව රජයේ වෙබ් අඩවියේ සඳහන් කර තිබු සියලු සංඛ්‍යා ලේඛන වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට එරට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව ඉදිරියේ දී අමාත්‍යංශය විසින් වෙබ් අඩවියේ සඳහන් කරනුයේ ගත වූ පැය 24 තුළදී රටෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ හා කොරෝනා මරණවල සංඛ්‍යාව පමණක් වන අතර වෙනත් රටවල් මෙන් පසු ගිය කාලයේ වාර්තා වූ එම ආසාදිතයින්ගේ හා මරණවල සංඛ්‍යාවන් වාර්තා කිරීමක් සිදු නොවේ.

බ්‍රසීල ජනාධිපති බෝල්සොනාරෝ පවසා ඇත්තේ පසුගිය මාසවල දත්ත හරහා බ්‍රසීලයේ වත්මන් කොරෝනා වසංගතයේ ස්වරුපය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලබා ගත නොහැකි බවයි.

එලෙස දත්ත අනාවරණ නොකිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පල කරමින් බ්‍රසීල වැසියන් විරෝධතාවක් ද පවත්වා තිබේ. මෙවන් පසුබිමක් තුළ, අමෙරිකාව අනුව යමින් බ්‍රසීලයද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ අනතුරු අඟවයි.

තම රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කිරා මැන ලැබීම සඳහා බාහිර පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණි.

කලාපයේ සෙසු රටවල් අතරින් මෙක්සිකෝව, පේරු සහ චිලී රාජ්‍යයේ කොවිඩ් බලපෑමච තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. ගත වූ පැය 24 තුළදී ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ද චිලී රාජ්‍යයෙන් ය. එම සංඛ්‍යාව 649 ක් වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top