,
Covid-19

කොරෝනා රෙගුලාසි නොසළකා රටම අනතුරේ දමමින් විරෝධාතාවයක් සංවිධානය කළ පිරිසක් අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 ජුනි 09 පස්වරු 01.42ට – යාවත්කාලීන කිරීම 02.21)

කොවිඩ්-19 ලෝක වසංගත තත්වය හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් වසා දමා තිබූ රට නැවත යථාවත් කිරීමට කටයුතු කරමින් සිටින පසුබිමක සහ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට දැඩි සෞඛ්‍ය රෙගුලාසි පනවා ඇති පසුබිමක, සිදුකිරීමට ගිය විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් පොලීසිය විසින් කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පස්වරු 2.20 වාර්තාව – කුමාර් ගුණරත්නම් ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට

ඇමරිකාවේ ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව තවත් ස්ථානයක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් විය. එම අවස්ථාවටත් විශාල පිරිසක් පැමිණ සිටි අතර කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය.

පොලීසිය පවසන්නේ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකරන ජනතාව ඒකරාශි කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් බවයි.

මේ වන විට තත්වය පාලනය කිරීම සඳහා පොලිස් ජල ප්‍රහාරක රථ ගෙන්වා ඇති අතර පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබේ.

පස්වරු 01.42 වාර්තාව – දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අත්අඩංගුවට පත්ව ඇති අය අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ද සිටින බව දැනගැනීමට ඇත. එම තත්වයත් සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ යම් උණුසුම් තත්වයක් ද ඇති වී තිබෙන ආකාරය නිරීක්ෂණය විය.

උද්ගෝෂණය කුමක්ද?

මෙම විරෝධතාවය ඇමරිකානු තානාපති කාර්යාලය දෙසට ගමන් කිරීමට සැළසුම් කර තිබූ බවද පොලීසිය සඳහන් කරයි. ඇමරිකාවේ තානාපති කාර්යාලය ඉදිරිපිට හා එම ප්‍රදේශයේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතාවයක් පිළිබඳ පොලීසියට ලැබී තිබූ තොරතුරක් මත එවැනි උද්ඝෝෂණයක් පැවැත්වීමට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි.

ඒ අනුව අදාළ පාර්ශව වෙත එම නියෝගය බාර දී තිබියදීත් කොරෝනා රෙගුලාසිවලට ද එරෙහිව අධිකරණ නියෝගය ද නොතකා 75ක පමණ පිරිසක් විරෝධතාවයට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම විරෝධතාවය ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධ කරගනිමින් “පොලීස් ඝාතන”වලට එරෙහිව සංවිධානය කර තිබූ බව ද දැනගැනීමට තිබෙනවා.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න. පුවත යාවත්කාලීන වෙමින් පවතී.

Rivira Ads
To Top