(RIVIRA.LK, 2020 ජුනි 09 පස්වරු 02.47ට)
පාසැල් යළි ආරම්භ කිරීම ජූනි මස 29 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
- 13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් ජුලි 06 වැනි දා සිට පාසලට
- උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වැනි දා
- පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි දා
ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවූ මොහොතේ ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් පසුගිය මාර්තු 13 වැනි දා සිට සියලු පාසල් වැසීමට පියවර ගත් පරිද්දෙන් ම, වෛරසයේ ව්‍යාප්තිය ඉතා කෙටි කාලයක් තුළ යහපත් අන්දමින් පාලනය කළ කලාපයේ පළමු රට බවට පත්වෙමින්, අදියර 4ක් යටතේ නැවත පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබේ.
රට තුළ පවත්නා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් ද පදනම් කරගනිමින්, ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ද උපදෙස් මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සදහන් කළා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ජුනි 09 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එමෙන් ම අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනි දා තෙක් පවත්වන බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි ඉරිදා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පළමු අදියර
අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලිය තුළ පළමු අදියර ජුනි මස 29 වැනි දා සිට ක්‍රියාවට නැංවෙන අතර එහි දී සියලු පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් කළමනාකරණ මණ්ඩල සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට පැමිණ පාසල් පරිශ්‍රය තුළ විෂබීජහරණය, පිරිසිදු කිරීම්, කාලසටහන් සකස් කිරීම ඇතුළු පාසල් ආරම්භයට පූර්ව සූදානම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. මේ සඳහා ජුලි මස 03 වැනි දා දක්වා කාලය පළමු අදියර යටතේ වෙන් කර ඇත.
දෙවන අදියර
සිසු දරුවන් වෙනුවෙන් පළමුවෙන් ම පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිදුවන්නේ දෙවැනි අදියරේ දී වන අතර, ඒ යටතේ ජුලි මස 06 වැනි සඳුදා සිට 13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරේ. 05 ශ්‍රේණියට හැර අනෙක් සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 3.30 තෙක් පාසල් පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා. 05 ශ්‍රේණියේ සිසුන් සඳහා පාසැල් පැවැත්වෙන්නේ දහවල් 12 තෙක් පමණයි.
තෙවන අදියර
තුන්වැනි අදියරේ දී 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් සඳහා ජුලි මස 20 වැනි දා සිට ආරම්භ කෙරේ. මෙම සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 3.30 තෙක් පාසල් පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
හතරවන අදියර
සිවුවැනි අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙනුයේ, ජුලි මස 27 වැනි දා වන අතර, 3,4,6,7,8,9 ශ්‍රේණි සිසුන් මෙම අදියරේ දී පාසල් වෙත කැඳවනු ලැබේ. 3 හා 4 ශ්‍රේණියේ සිසුන්ට හැර අනෙක් සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 තෙක් පාසල් පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා. 3 හා 4 ශ්‍රේණි සඳහා 11.30 දක්වා පාසැල් පැවැත්වීමට නියමිතයි.
1 සහ 2 ශ්‍රේණිවල සිසුදරුවන් සඳහා පාසල් පැමිණිය යුතු දිනය තවදුරටත් ප්‍රමාද කරන අතර, ඉදිරියේ දී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත ය.
ගත වූ කාල පරිච්ඡේදය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මඟ නොහැර කරගෙන යාමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ගුරුවරුන් ඇතුළු වෙනත් පාර්ශව රැසක් විශාල සහයෝගයක් ලබාදුන් බව ද, විශේෂයෙන් ම ජනමාධ්‍ය ඔස්සේ දරුවන්ට ලබාදුන් සහයෝගය ද මෙහි දී කෘතවේදී ව සිහිපත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන් ම ගත වූ අභියෝගාත්මක කාලය තුළ ඇඳිරි නීති මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ නිලධාරීන් ලබාදුන් විශිෂ්ට සහයෝගයට ද ස්තුතිය පළ කළ අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රමුඛ ආයතනවල සියලු නිලධාරීන් ලබාදුන් සහයෝගයට ද සිය ස්තුතිය පළ කළේය.
දියුණු, නොදියුණු, දුප්පත්, පොහොසත් සියලු සමාජ ස්තරයන් තුළ නවීන තාක්ෂණය අත්පත් කරගැනීම වෙනුවෙන් පැවති උනන්දුව ගත වූ කාලසීමාව තුළ හඳුනාගත හැකි වූ සුවිශේෂ ලක්ෂණයක් බව ද, කොරෝනාව මාරයෙක් වුව ද එවැනි කරුණු සම්බන්ධයෙන් වෙස්වළාගත් ආශිර්වාදයක් බවට පත්ව ඇති බව ද, පෙන්වා දුන් අමාත්‍යවරයා, ලක්ෂ 50කට ආසන්න ශ්‍රී ලාංකීය දරුවන් දින 100කට අධික කාල සීමාවක් තුළ නිවාස අඩස්සියෙහි තැබූ මෙම අභියෝගය හමුවේ දරුවන් තාක්ෂණය සමඟ එක්වීම දෙමව්පියන් විසින් සුබවාදී ව දැකීම ද යහපත් ප්‍රවණතාවක් ලෙස සඳහන් කළේය.
පාසල් ආරම්භ කිරීමෙන් පසුව ඊළඟට මුහුණ දීමට සිදුවන අභියෝගය ප්‍රවාහන මාධ්‍ය භාවිතය බව ද, ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, පෞද්ගලික බස්රථ සංගමය, පාසල් වෑන් රථ හිමිකරුවන්ගේ සංවිධාන ඇතුළු ප්‍රවාහන අංශයේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

