(RIVIRA.LK, 2020 ජුනි 09 පස්වරු 04.47ට)
2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් “සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර නිෂ්ප්‍රභ කරන ලෙස නියෝග කරමින් මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 09 දින තීන්දු කර තිබේ.
බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කළේය.
අදාළ පෙත්සම ගොනු කර තිබුණේ සමාජ ජාල ක්‍රියාකාරියෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් විසිනි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජික රත්නජීවන් හූල්, එහි සාමාජික නලින් අබේසේකර යන තිදෙනාත්, සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති සේනක හරිප්‍රිය ද සිල්වා, එහි ලේකම් ඩයනා ගමගේ යන පිරිසයි.
රිට් පෙත්සම මගින් කියා තිබුණේ කුමක් ද?
අදාළ පෙත්සම මගින් පෙත්සම්කරු කියා සිටින්නේ “සමගි ජන බලවේගය” වශයෙන් නාම යෝජනා බාර දී තිබෙන පක්ෂය ගොඩ නගා ඇත්තේ “අපේ ජාතික පෙරමුණ” නැමති පක්ෂය පදනම් කරගෙන බවයි.
එසේ තිබිය දී “අපේ ජාතික පෙරමුණ” පක්ෂයේ නම, “සමගි ජන බලවේගය” වශයෙන් වෙනස් කොට එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර පිළිගනිමින් ඉකුත් මාර්තු 12 වනදා මැතිවරණය කොමිසම විසින් නිකුත් කර ඇති ලිපිය අදාළ පක්ෂ ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිඥවරයා පෙන්වා දුන්නා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ නෙරංජන් ද සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු කරුණු දක්වමින් කියා සිටියේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන අයෙකුට “අපේ ජාතික පෙරමුණ” පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බවයි.
“අපේ ජාතික පෙරමුණ” පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලතල පෑවරී තිබෙන්නේ එම පක්ෂයේ “සමස්ත ලංකා කාරක සභාව”ට යැයි පෙන්වා දුන් නීතිඥවරයා කියා සිටියේ ප්‍රශ්නගත සංශෝධනය එම කාරක සභාව හරහා සිදු වී නොමැති බවයි.
මැතිවරණ නීතියට අනුව යම් පිළිගත් දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලැබුවහොත් එවැනි අවස්ථාවක දින 30 ක් ඉක්ම යාමට මත්තෙන් ඒ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නා.
ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර පත් කිරීමේ දී අදාළ පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවේ නිසි අනුමැතිය හිමිවී නොමැති බව අවධාරණය කර තිබුණා.
ඒ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අත්සන්කොට මැතිවරණ කොමිසමට බාර දී තිබෙන නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව පෙත්සම්කරු කියා සිට තිබුණා.
කරුණුු කාරණා එසේ හෙයින් අදාළ පක්ෂයේ නාම යෝජනා පත්‍ර බාර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බවට තීන්දු කොට එම නාමයෝජනා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ඕෂල හේරත් සිය රිට් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබුණා.
මැතිවරණ කොමිසමේ කරුණු දැක්වීම
මැතිවරණ කොමිසමේ සභාපති ඇතුලු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8(3) වගන්තිය ප්‍රකාරව යම් පිළිගත් දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කල බව දැනුම් දුන් විට එය පිළිගැනීමට මැතිවරණ කොමිසම සිදුවන බවයි.
එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව සහ පක්ෂවල අභ්‍යන්තර කටයුතු පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
අධිකරණ තීන්දුව
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර තිබෙනවා.
මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයේ පෙනී සිටියේය.
සම්බන්ධිත පුවත්
සජිත්ගේ සජබයේ නාම යෝජනා අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධීකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව මෝසමක්

