(RIVIRA.LK, 2020 ජුනි 09 පස්වරු 05.21ට)
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහමැතිවරණ තරඟයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිසම විසින් මනාප අංක පළ කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මංගල පින්සිරි සමරවීර මාතර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණින් අංක 08 යටතේ තරග කිරීමට නියමිතව තිබුණි.
මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් මංගල සමරවීර කියා සිටියේ තමන් අද සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බවයි.
මහානාම සමරවීර හා මාතර නගර සභාවේ සාමාජිකයකු වූ කේමා සමරවීරගේ පුත්‍රයා වන මංගල සමරවීර 1956 අප්‍රේල් 21 උපත ලබා ඇති අතර මේ වන විට 64 වන වියේ පසුවෙයි.
1983 වසරේ දී මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය දරා ඇති අතර 1989 වසරේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර 1994 දී ජනාධිපතිනි චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංගගේ කැබිනට් මණ්ඩලයේ, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
එතැන් පටන් පැවති ආණ්ඩු ගණනාවක ප්‍රබල කැබිනට් අමාත්‍යධූර දැරූ අතර වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග දීර්ග කාලීන සම්බන්ධතාවයක් පැවැත්වූ දේශපාලනඥයෙකි. මහින්ද රාජපක්ෂ 2005 වසරේ දී ජනාධිපතිධූරයට පත් කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයුවද පසුකාලීනව දේශපාලන මතගැටුම් ඇති විය. ඒ අනුව 2006/2007 කාලයේ දී ඔහු දරමින් සිටි කැබිනට් අමාත්‍යධූරයෙන් ඉවත් වී සිටි අතර පසුව එක්සත් ජාතික පක්ෂය සමග එක් වී මහින්ද රාජපක්ෂ කඳවුරට එරෙහි දේශපාලන භාවිතාවක නියැලී සිටියේය.
අවසන් යහපාලන රජයේ ද විදේශ අමාත්‍යධූරය හා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යධූරයන් ද දැරීය.
ඔහුගේ පියා වන මහානාම සමරවීර 1960 සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ අමාත්‍යවරයෙකි. එහෙත් 1964 දී මහානාම සමරවීර ඇමතිවරයා ද එක්සත් ජාතික පක්ෂයට එක් විය.

