(RIVIRA.LK, 2020 ජුනි 10 පස්වරු 03.23ට)
2020 පාර්ලිමේන්තු මහමැතිවරණය අගෝස්තු 05 වන බදාදා දින පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ එය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන අය විසින් ඒකමතිකව තීරණය කළ බවයි.
ඒ අනුව ප්‍රථමයෙන් අප්‍රේල් මස 25 දිනට නියම වී පසුව ජූනි මස 20 වන දින දක්වා කල් ගිය මහමැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන බදාදා දින පැවැත්වීමට තීරණය කර තිබේ.
සතියේ දිනයක මහමැතිවරණය පැවැත්වීමද විශේෂත්වයකි.
එසේම මීට අදාළ ගැසට් නිවේදනය කොමිසන් සභාවේ සාමාජිකයින් විසින් අත්සන් තබා රජයේ මුද්‍රණාධිපතිවරයා වෙත යවා ඇති බවද මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

