,
Life

ටයරය හිසේ වැදීමෙන් රෝහල්ගත කළ ජපුර සිසුවා දින 97කට පසු රෝහලෙන් ගෙදර යයි

(RIVIRA.LK, 2020 ජුනි 11 පස්වරු 11.37ට)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙක් පසිඳු හිරුෂාන් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාගාරය අසලදී “ටයරයක් වැදීමෙන්” බරපතල ලෙස තුවාල ලබා පසුගිය මාර්තු 06 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

පසුව කළ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ ඔහු “නවක වධ හිංසා සිදුවීමකට” ලක්ව රෝහල් ගත කර ඇති බවයි. ඒ අනුව මාස 3කට වැඩි එනම් දින 97ක් පමණක ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ජුනි 11 දින රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීමේ දී ටයරයක් හිසේ වැදීමෙන් ඔහුගේ හිස් කබල සහ මොළයට බරපතල තුවාල සිදුවී තිබූ අතර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව බොහෝ කලක් ප්‍රතිකාර ලබමින් සිටියා.

අසාධ්‍ය තත්වයෙන් සිටි හිරුෂාන්ව ක්‍රම ක්‍රමයෙන් සුව අතට ගෙන ඒමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලයේ දැඩි උත්සාහයක නිරත විය.

තවමත් ඔහුට ඇවිදීමට නොහැකි බව ඔහුගේ සොහොයුරා සඳහන් කළා. එසේම ඔහු ගැන සොයා බැලූ සැමටත් පසිඳුගේ සොහොයුරා ස්තූති කළා.

සිද්ධියට අදාළව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

සම්බන්ධිත පුවත

ටයරයක් වැදී ජපුර සරසවි සිසුවෙකුට බරපතලයි, අනතුරක් ද? නවක වදයද?

Rivira Ads
To Top