,
Business

ලීසිං සහන කාලය තුළ ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීමට ඉඩ නොතබන්න – ජනපතිගෙන් පොලීසියට නියෝග

(RIVIRA.LK, 2020 ජුනි 12 පස්වරු 10.45ට)

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලීසියට නියෝග කර තිබෙනවා.

ජුනි 12 සිකුරාදා පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ අංක 158 දරන නිවේදනයෙන් මේ බව අනාවරණය කළා.

ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති බව එම නිවේදනයේ සඳහන් කර ඇති අතර එවැනි තත්වයක් තුළ අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වෙත උපදෙස් දී තිබෙනවා.

කොවිඩ්-19 ව්‍යාප්තිය සමඟ පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රීවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අයකර ගැනීම ද මාස 6කට අත්හිටුවනු ලැබ තිබූ බව ද එම නිවේදනයේ සඳහන්.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ද ඒ බව පැහැදිලිව සඳහන් ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

එසේ මාස 6ක සහන කාල සීමාවක් ලබා දී තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. එබැවින් එම කාල සීමාව තුළ ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට දැනුම් දී තිබෙනවා.

Rivira Ads
To Top