(RIVIRA.LK, 2020 ජුනි 13 පස්වරු 08.55ට)
චීනයේ දකුණු දිග බීජිං නගරයේ “ෆෙන්ග්ටයි ” දිස්ත්‍රික්කයේ පිහිටි බිජිං නගරයේ විශාලතම තොග ආහාර වෙළඳපල ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු ජුනි 12 හා 13 යන දිනවල දී වාර්තා වීමත් සමඟ එම වෙළඳපල වසා දමා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 11 ක් අගුලු දැමීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
වසා දැමුණු ආහාර වෙළඳපල ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයින් 547 දෙනෙකුගේ උගුරෙන් ලබා ගන්නා ලද සෙම් පටල පරික්ෂා කිරීමේදී ඔවුන් අතුරින් 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර ඔවුන් කිසිවෙකු රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කර තිබී නොමැත. එසේම, චීනය මෙම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයින් දෛනිකව නිකුත් කරන කොරෝනා ආසාදිතයින්ගේ ලැයිස්තුවට ඇතුළත් නොකරන බව ද වාර්තා වේ.
වසා දැමුණු වෙළඳපොළට සම්බන්ධ දස දහසකට අධික පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා ඔවුන්ව නියුක්ලෙයික් අම්ල පරික්ෂාවට යොමු කිරීමටද බලධාරීහු කටයුතු යොදා තිබේ.
මෙතෙක් හඳුනාගත් රෝග ලක්ෂණ පෙන්නුම් කළ ආසාදිතයින් 07 දෙනාගෙන් 06 දෙනෙකු ජුනි 13 වන දිනයේ දී වාර්තා වී ඇති අතර 01 අයෙකු ජුනි 12 වන දිනයේ වාර්තා වී තිබේ. මේ අනුව “ෆෙන්ග්ටයි ” දිස්ත්‍රික්කයේ පිහිටි බිජිං නගරයේ විශාලතම තොග ආහාර වෙළඳපල වන ” සින්ෆාඩි ” ආහාර තොග වෙළඳපල වසා දමා ඇති චීන බලධාරීහු දෙවැනි කොරෝනා වසංගත රැල්ලක් මතු වනු ඇතැයි බියෙන් අගුලු දැමු ප්‍රදේශ 11 ක ජනතාවට නිවෙස්වලින් පිටතට යාම තහනම් කර තිබේ. එමෙන්ම බිජිං නගරයේ සංචාරක කටයුතුද මෙම තත්ත්වය මත තහනම් කිරීමටද බළධාරීහු පියවර ගෙන ඇති බව “අල් ජසීරා ” පුවත් සේවය පවසයි.
ගත වූ දින දෙකේ දී වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගෙන් පළමුවැන්නා ජුනි 12 වන දින වාර්තා වී ඇත්තේ බිජිං නගරයෙන් මාස දෙකකට පසුව වාර්තා වූ ප්‍රථම ආසාදිතයා වශයෙන් වන අතර ඔහු මීට පෙර නගරයෙන් පිට සංචාරය කර නැතත් ඉකුත් සතියේ දී වසා දමනු ලැබූ තොග ආහාර වෙළඳපලට අයත් ” මාංශ ” වෙළඳසලට ගොස් ඇති බව අනාවරණය වී ඇත. එම මාංශ වෙළඳසල ආශ්‍රිතව ජුනි 13 වන දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම ආසාදිත පොකුරෙන් 03 දෙනෙකුම “සින්ෆාඩි ” වෙළඳපලේ සේවකයින්ය. මොවුන්ගෙන් තවත් එක් අයෙකු වෙළඳපොළට පැමිණි අයෙකු වන අතර ඉතිරි දෙදෙනා වෙළඳපලට කිලෝ මීටර් 07 ක් ඇතින් පිහිටි චීන මාංශ පර්යේෂණ ආයතනයේ සේවය කරන සේවකයින් බව බලධාරීහු පවසති.
චීන සෞඛ්‍ය බලධාරීහු “සින්ෆාඩි ” වෙළඳපොළ සමඟ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් එක් අයෙකු සංචාරය කළ අසළ පිහිටි මුහුදු ආහාර වෙළඳසලක් ද වසා දමා විෂබීජානුහරණය කර තිබේ.
තොග ආහාර වෙළඳපොළ ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් සොයා ගැනීමත් සමඟම චීන බළධාරීන් විසින් වහාම හමුදා පොලිස් නිලධාරීන් එහි යවා වෙළඳපොළ වසා දැමීමට පියවර ගෙන තිබේ .මේ අනුව සති අන්තයේ “ෆෙන්ග්ටයි ” දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබු මහජන රැස්වීම් හා ක්‍රීඩා තරඟ ද අවලංගු කර ඇති අතර වසා දැමුණු වෙළඳපල ආසන්නයේ පිහිටි පාසල් හා පෙර පාසල් නවයක්ද වසා දමා තිබේ.

