(RIVIRA.LK, 2020 ජුනි 15 පස්වරු 06.39ට)
kai pu che, PK හා MS Dhoni වැනි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිර්මාණයන්ගෙන් රසික හදවත් දිනා ගත් බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් පසුගිය ජුනි 14 වැනි ඉරිදා තම නිවස තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.
ඉන්දියාවේ බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුෂාන්ත්ගේ නිවස තුළදී ගෙළ වැල ලා මිය ගොස් සිටියදී ඔහුගේ සිරුර සොයා ගෙන ඇති අතර මුම්බායි පොලීසිය වාර්තා කරන්නේ ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී සොයාගෙන ඇති බවයි. එමෙන්ම, සියදිවි හානි කර ගැනීමට පෙර තැබූ සටහන් කිසිවක් සොයාගෙන නැති අතර තවදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරමින් සිටින බවත් පොලීසිය පවසයි.
සුෂාන්ත් රාජ්පුත් පුංචි තිරය තුළින් තම රංගන දිවිය අරඹා ඇති අතර 2013 වර්ෂයේ දී චේතන් බගත් විසින් ලියන ලද නවකතාවක් පදනම් කරගනිමින් නිර්මාණය වූ Kai Pu Che (I have cut) නම් සිනමා නිර්මාණයෙන් බොලිවුඩයට පිවිසියේ ය.
තවමත් 34 වැනි වියේ පසුවන රංගන දිවියේ දිගු ගමනක් යා හැකිව තිබූ තරුණ නළුවාගේ අකල් මරණය ගැන සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා කම්පා වෙමින් සිය ශෝකය පළ කරමින් සටහන් තබා තිබුණි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ දීප්තිමත් තරුණ නළුවෙකු වූ සුෂාන්ත් සිංගේ මරණයෙන් තමන් කම්පනයට පත් වූ බවයි. එමෙන්ම, සිනමා ලෝකයේ දිග හැරුණ ඔහුගේ චරිත සදා මතකයේ රැඳෙන ඒවා බවත් ඔහුගේ පවුලේ අයට මෙන්ම රසිකයන් වෙත ද ඔහුගේ කණගාටුව ප්‍රකාශ කරන බවත් අගමැතිවරයා එහි සටහන් කර තිබුණා.
බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර් ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ සුෂාන්ත්ගේ මරණයෙන් ඔහු කම්පනයට පත් වූ බවයි.
එමෙන්ම, බොලිවුඩ් නළු නවාසුදීන් සිද්ධික් ද ට්විටර් සටහනකින් පවසා තිබුනේ, ඔහුට මෙය අදහාගත නොහැකි බවයි. කඩවසම් නළුවෙකු මෙන්ම හොඳ මිතුරෙකුගේ වෙන්ව යාම ඔහුට දරාගත නොහැකි බවත් ඔහු එහි සටහන් කර තිබුණා.
සුෂාන්ත් සිං රාජ්පුත් වඩාත් ජනාදරයට පාත්‍ර වූයේ ඉන්දියාවේ ක්‍රිකට් ලොවේ දැවැන්තයෙක් වූ මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතය අළලා 2016 වසරේදී නිර්මාණය වූ MS. Dhoni: The Untold Story චිත්‍රපටයේ දෝනිගේ චරිතය රඟපෑමෙන්ය.
ඔහු අවසන් වරට සිය රංගන දායකත්වය ලබා දුන්නේ Netflix හි Drive නම් චිත්‍රපටියට ය.
ඉන්දියාවම කම්පාවට පත් කළ ජනප්‍රිය නළුවාගේ නික්මයාම ගැන කම්පාවට පත් වෙමින් තැබූ ට්විටර් සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

