දේශීය පුවත්

මෙරට නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි පිටරටින් ගෙන්වීම නතර කරයි

(RIVIRA.LK, 2020 ජුනි 16 පෙරවරු 11.24ට)

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුනි 15 දින තීරණය කර තිබෙනවා.

එවැනි කර්මාන්තවල නිරත දේශීය නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් ජුනි 15 සඳුදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාළ තීරණ ගනු ලැබිණ.

ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එසේම එමගින් විදේශයන්ට ඇදී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව සාකච්ඡා වී තිබෙනවා.

පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යෙදවීමට ද තීරණය කෙරිණ.

කිහිප දෙනෙක් සතු රෙදි පිළී නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්, සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරිණ.

විදේශ රටවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණයන්ගේ ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහූ සහ ඇගළුම් සහ රෙදි පිළී ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Rivira FB Group Rivira Youtube
To Top