කොවිඩ්-19

ජනපති මහබැංකු ප්‍රධානීන්ට දෙහි කපයි, ආර්ථිකය ගොඩනගන සැළසුම දිනක් තුළ ඉල්ලයි

(RIVIRA.LK, 2020 ජුනි 16 පස්වරු 09.44ට)

වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර නොහරින ලෙසත් ඒ සඳහා නිවැරදි උපාය කුමක්දැයි පවසන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහබැංකු ප්‍රධානීන් වෙත පවසා සිටියා.

ජනාධිපති කාර්යාලයේදී ජුනි 16 දින මහබැංකු ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ අප මුහුණ පා ඇත්තෙ ගෝලීය අර්බුදයකට බවයි. එසේම වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට බවත් ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙන මොහොතක අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවටත් ජනාධිපතිවරයා චෝදනා කළා. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු ප්‍රමාදයකින් තොරව තමන්ට දැනුම් දෙන පැවසූ ජනාධිපතිවරයා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සැළසුමක් ඉදිරිපත් කිරීමට ලබා දුන්නේ එක් දිනක් පමණයි.

ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබෙන ජනාධිපතිවරයා සාකච්ඡාවේ දී අවධානයට ලක් කළා. ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබී නැති බව පෙන්වා දුන් ජනාදිපතිවරයා එසේ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිළි කරන ලෙසද ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා.

ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල මෙන්ම කුඩා රටවලද මහබැංකු ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේද ඉදිරිපත් කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එහෙත් මෙරට මහබැංකුව ආර්ථික පුනරුත්ථාපනය සඳහා කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් කර නැති බවට ජනාධිපතිවරයා ඍජුවම චෝදනා කළා. පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට ඔවුන් සැපයූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් රජය විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවද මහබැංකුව පැහැර හැර ඇති බව සිහිපත් කළා. මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙන බවද ජනාධිපතිවරයා පවසා සිටි අතර මහබැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවන බවත් ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැනත් ජනාධිපතිවරයා සිය දැඩි අප්‍රසාදය පළ කළා.

ජනතාව තමන්ට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය ඉටුකිරීමට තමන් බැඳී සිටින බව අවධාරණය කළා. සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළ බව යළිත් සිහිපත් කළ ජනාධිපතිවරයා පවසා සිටියේ රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී තිබෙන බවයි. එය ඉටුකරනු වෙනුවට මහබැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව පැවසු ජනාධිපතිවරයා, ගැටළුව අවබෝධකරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ තමාගේ යෝජනාවට අනුමැතිය දෙන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නා. එය අදම කළයුතු බවද අවධාරණය කළා.

ඒ අනුව ජුනි 16 දින රාත්‍රී 7.30 වන විටත් මහබැංකුව තුළ සියලු විදුලි පහන් දැල්වෙන ආකාරය දිස්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළ වී තිබෙනවා.

ජනාධිපතිවරයා මහබැංකු ප්‍රධානීන් හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙන අතර බහුතරයක් දෙනා පක්ෂ භේදයකින් තොරව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බව නිරීක්ෂණය කළ හැක.

අදාළ සාකච්ඡාවට මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්, වත්මන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සහ මහබැංකු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top