,
Covid-19

කොරෝනා රෝගීන් සුවපත් කළ හැකි ඖෂධයක් බ්‍රිතාන්‍ය පර්යේෂකයන් අනාවරණය කර ගනියි

ඇදුම ,ආත්රයිටිස් ,රුමැටික ආබාධ ,සමේ රෝග ඇතුළු රෝග ගණනාවකට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා සරල අඩු මිලැති ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙතක් වන “ඩෙක්සමෙතසෝන් (Dexamethasone) ” දරුණු ලෙස රෝගාතුර වන කොරෝනා ආසාදිතයින්ට ලබා දීමෙන් ඔවුන් සුවපත් කළ හැකි බව එංගලන්තයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් විසින් අනාවරණය කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයින් පිරිසක් වන මෙම කණ්ඩායම විසින් කොරෝනා වෛරසය ආසාදිතව සිටි රෝගීන්ට “ඩෙක්සමෙතසෝන්” නම් ඖෂධය ලබාදී තිබුණේ මුලික අදියරේ සායනික පර්යේෂණයක් සඳහාය. ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරමින් වෛරසය ආසාදනය වී ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් සිටි පුද්ගලයින්ගේ මරණ අනුපාතය සීයයට 40 සිට 28 දක්වා අවම කිරීමට හැකිව තිබේ.

එමෙන්ම, ඔක්සිජන් ලබා දෙමින් සිටි රෝගීන්ගේ මරණ අනුපාතය සීයයට 25 සිට 20 දක්වා අවම වූ බව මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවනු ලබන මහාචාර්ය පීටර් හොර්බි ප්‍රකාශ කර සිටියි. මෙම ඖෂධය රෝගියෙකුට ලබාදිය යුත්තේ දින 10ක කාලයක් පමණක් බවත් මෙය ලොවපුරා රටවල බහුලව ඇති ඖෂධයක් බවද මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.

කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් සොයා සිදුකරන පර්යේෂණය හමුවේ මෙම ඖෂධය සොයා ගැනීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බව මහාචාර්ය හොර්බි පවසයි. බ්‍රිතාන්‍ය තුළ සිදුවූ කොරෝනා ව්‍යාප්තියේ මුල් අවධියේදී මෙම ඖෂධය හඳුනා ගෙන තිබුනේ නම් සිදුවූ මරණ 5000ක් අඩු කර ගැනීමට හැකියාව තිබූ බව ද එම පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.

මෙම බෙහෙත කොරෝනා ප්‍රතිකාරයක් වශයෙන් යොදා ගැනීමෙන් වැඩි වාසියක් අත් වනුයේ කොරෝනා වෛරසයෙන් බැට කන දුගී රටවල්වලට බව ඔවුන් පෙන්වා දෙයි.

Rivira Ads
To Top