අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නාවික හමුදාධිපති ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් ගාල්ල මුහුදු තීරයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම දිය යට කෞතුකාගාරය ඉදි කරන ලදී. එම කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.
විශේෂයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර මෙහි නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස කොරල්පර නැවත වර්ධනය කර ගැනිම මෙන්ම මත්‍ස්‍ය සම්පත වර්ධනය කර ගැනිම දැක්විය හැකිය. මෙහි ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා සාමාජිකයින් විසින් සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇත. එසේම, කාලයාගේ ඇවෑමෙන් මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණය වී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇත.
මෙම දිය යට කෞතුකාගාරය ගාලු වාරායේ තුළ අඩි 50ක් පමණ ගැඹුරට වන්නට පිහිටා ඇති අතර මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර ඇත.
ඉතාමත් කෙටි කාලයක් තුල නිර්මාණය කිරිමට යෙදුණු මෙම දිය යට කෞතුකාගාරය සදහා ප්‍රථමයෙන්ම භාවිතයෙන් ඉවත් කල දුම්රිය මැදිරි සහ ධීවර යාත්‍රා යොදා ගැනිමට තීරණය කල ද කෙටි කාලිනව ඒවා රැස්කර ගැනිමේ අපහසුව හේතුවෙන් විවිධ ප්‍රතිමා සහ සමරු ඵලක යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය සිදු කර ගෙන යාමට නාවික හමුදාව කටයුකු කරන ලදි.
තවද මේ වන විටත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව මත්ස්‍ය අභිජනනය ආරම්භ වි ඇති අතර ඉතා නුදුරු කාලයේ දී සංචාරකයින් හට මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව හිමි වනු ඇත. කෙසේ වෙතත්, මෙම ව්‍යපෘතිය ආරම්භ කිරිමෙන් පසු එහි මූලික අවධිය තුල මෙම ප්‍රදේශයේ මසුන් මැරීම සදහා ධීවර ප්‍රජාව කයටුතු නොකල යුතු අතර, ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනනය වර්ධනය වු පසු එහි උපරිම ඵල නෙලා ගැනිමට ඔවුන්ට අවස්ථාව හිමිවෙනු ඇත.
මෙම කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවය ඉතා සුවිශේෂි මුහුණුවරක් ගත් අතර ප්‍රවීණ කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාධිපතිවරයා දිය යටදි පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කිරීම නැවුම් අත් දැකීමක් විය.

ඓතිහාසික ගාලු පුරවරයේ සංචාරක ආකර්ෂණ සටහන් ගොන්නට අලුතින් එක්වු මෙම දිය යට කෞතුකාගාරය ව්‍යාපෘතිය කොරෝනා උවදුරෙන් පසු යළි පිබිදෙන මෙරට සංචාරක කර්මාන්තයට සුවිශාල දායකත්වයක් සපයනු ඇත. තවද, මේ ආකාරයේ තවත් දිය යට කෞතුකාගාරයන් දෙකක් ත්‍රිකුණාමලයෙහි සහ තංගල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට නාවික හමුදාව අපේක්ෂා කරයි.







