දේශීය පුවත්

රටේ බන්ධනාගාර අපරාධකරුවන්නේ සෙල්ලම් පිටිය බවට පත්වෙලා – නීතිපති

(RIVIRA.LK, 2020 ජුනි 19 පස්වරු 05.30ට)

රටේ පවතින බන්ධනාගාර අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටිය බවට පත් වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා පවසනවා. නීතිපතිවරයා මේ බව සඳහන් කළේ ජුනි 19 වන සිකුරාදා වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ පැවති වැඩසටහනකට එක්වෙමින් ය.

බන්ධනාගාර රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද විනය පිරිහී ඇති බවත් නිලධාරීන් අල්ලස හා දූෂණයට ඇබ්බැහි වී ඇති බවත් නීතිපතිවරයා පවසනවා. මේ හේතුවෙන්, බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කෙරෙහි ජනතාගේ විශ්වාසය බිඳ වැටී ඇති බව ද ඔහු එහිදී සඳහන් කළා.

එම අවස්ථාවේදි නීතිපතිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේ ය.

“මං අද දින මෙතනට ආවේ තමුන්නාසේලාට ප්‍රබල පණිවිඩයක් ලබා දෙන්න. මම හිතන්නේ මගේ පැමිණීම කාලෝචිතයි. අපි යථාර්තයට මුහුණ දෙමු.

දැන් මහජන විශ්වාසය මේ ආයතනය කෙරේ බිඳවැටිලා. මං සෘජුව කතා කරන්නේ. කණගාටුයි කියන්න. පවතින තත්ත්වය මොකක් ද? මේකේ ඉන්නවා දූෂිත නිලධාරීන් පිරිසක්. ඒ නිලධාරීන් හඳුනා ගන්න ඕන.

එතකොට මේ බන්ධනාගාර අද අපරාධ පිටියක් බවට පත් වෙලා. අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටිය, සෙල්ලම් පිටිය. එතකොට, අපරාධ සිදු කිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත්වෙලා තියෙනවා බන්ධනාගාරය. මෙතන විනයක් නෑ. රැඳවියන්ගේ විනයක් නෑ. නිලධාරීන්ගේ විනයක් නෑ. අල්ලස දූෂණයට නිලධාරීන් ඇබ්බැහිවෙලා ඉන්නේ මේකේ. තහනම් භාණ්ඩ ඇතුල් කරන්න ඇබ්බැහිවෙලා.

මේ රටේ ප්‍රබල අපරාධ සංවිධානය වෙන්නේ මේකේ ඇතුළේ. කල්ලි හැදිලා, පාතාල කල්ලි. එළියේ කොටසක් ඉන්නවා. ඇතුළේ කොටසක් ඉන්නවා. ඒ දෙගොල්ලෝ සම්බන්ධ වෙනවා. මොකක් ද සංස්කෘතිය? මං කියන්න ඕනේ නෑ, තමුන්නාසේලා දන්නවා. නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කරනවා. රැඳවියන් නිලධාරීන් ආරක්ෂා කරනවා. මෙතන අන්තර් සහජීවනයක් තියෙන්නේ. මේක කඩන්න ඕනේ.

බන්ධනාගාර දැන් අපරාධකරුවන් නවීණ තලයක, විශේෂ තලයක අපරාධකරුවන් බිහි කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා. මෙතන බන්ධනාගාරයෙන් වෙන්න ඕන කර්තව්‍යය මොකක් ද? දඬුවම් ක්‍රියාත්මක කිරීම, හරි විදියට.

මෙතන සෙල්ලම් පිටියක් වෙලා. ඒකයි මේ රටේ අපරාධ රැල්ළ දිනෙන් දින වැඩි වෙන්නේ. එතකොට යුක්තිය පසිඳලීමේ පද්ධතිය, වැදගත් කොටසක් මේ බන්ධනාගාරය. පද්ධතියට බලපානවා. රටේ නීතිය හා සාමයට තර්ජනයක්. එතකොට මහජන ආරක්ෂාවට තර්ජනයක්. ජාතික ආරක්ෂාවට තර්ජනයක්.

මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා අපි ඉන්න කාලය තුළ. ඒක හරියට ඉෂ්ඨ කරන්න. විශ්‍රාම යනකොට ඔළුව කෙලින් තියාගෙන යන්න. හරි සේවයක් කරලා. මේවා හැදෙන්නේ නැත්නම් රට හදන්න බෑ. මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්න තමුන්නාසේලා.

මේ බන්ධනාගාරය හදන්න බෑ දූෂිත නිලධාරීන් රජ කරනකොට. ඉතින් ඒ සංස්කෘතිය නැති කරන්න ඕන.”

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top