(RIVIRA.LK, 2020 ජුනි 19 පස්වරු 6.02ට)
ඕස්ට්‍රේලියාවේ සියළුම අංශ ආවරණය වන පරිදි විශේෂයෙන් අත්‍යාවශ්‍ය සේවා සපයන අංශ ඉලක්ක කරමින් විදේශයක සිට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කරනවා. එම සයිබර් ප්‍රහාර එල්ල වූයේ කුමන ආයතනයන්ට ද යන වග අගමැතිවරයා විසින් නිශ්චිතව සඳහන් කර නොමැති අතර දත්ත පැහැර ගැනීම් කිසිවක් සිදු වී නොමැති බව ද සඳහන් කරයි. ප්‍රහාර එල්ල වූ ආයතන අතර විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු ඉලක්ක වී ඇති බවත් අගමැතිවරයා පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාස කිහිපයක සිට මෙම සයිබර් ප්‍රහාරය දියත් වූ බවත් මෑතක සිට එම තත්ත්වයේ වැඩි වීමක් සිදුව ඇති බව පැවසූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එය විදෙස් රටක සිට ක්‍රියාත්මක වන බව ද සඳහන් කරයි. මෙම සයිබර් ප්‍රහාරයට වගකිව යුතු රට කුමක්ද යනුවෙන් සඳහන් නොකළ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එවැනි හැකියාවක් ඇත්තේ ලොව රටවල් වලින් අතළොස්සකට පමණක් බව සඳහන් කර ඇත.
සයිබර් විශේෂඥයෙකු වන නික් සැව්වීඩිස් ප්‍රකාශ කර සිටියේ එවැනි ප්‍රහාරයක් එල්ල කිරිමට ඇති හැකියාව සහිත රටවල් 10ක් හෝ 15ක් සිටින බවයි. ඒ අතරට, චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවල් ද සිටින බව ඔහු පවසයි.
යුධමය අවස්ථාවකදී ඕස්ට්‍රේලියානු රජයේ ක්‍රමවේදය අකර්මන්‍ය කිරිම සහ එරට වාණිජ තොරතුරු අත්පත් කර ගැනීම මෙම සයිබර් ප්‍රහාරයේ අරමුණ වන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ඕස්ට්‍රේලියානු උපාය මාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂක පීටර් ජෙනිංස් කියා සිටියේ මෙම සයිබර් ප්‍රහාරය චීනයෙන් එල්ල වූ එකක් බවට තමන්ට විශ්වාස බවයි.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනය මිට පෙර ඕස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන භාණ්ඩ සඳහා අධික බදු පැනවීමක් සිදුකරනු ලැබුවා.

