,
News

ජනපතිගේ 71 වන ජන්ම දින සැමරුම් රුවන්වැලි මහා සෑයේ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කරයි

(RIVIRA.LK, 2020 ජුනි 20 පස්වරු 1.14ට)

ජුනි මස 20 වන දිනට යෙදී තිබුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින් ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් අභියසදී සැමරිමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.

උදෑසන රුවන්වැලි සෑ චෛත්‍ය වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාවක් සිදුකළ අතර චෛත්‍ය මහ මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද සිදුකර තිබේ.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පස්වරුවේ අභයගිරි, පූර්වාරාම මහා විහාරය වැඳපුදාගෙන විහාරාධිපති උතුරුමැද පළාතේ සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට කැප වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගනිමින් කළ මෙහෙවර පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමිගේ ප්‍රශංසාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් වාර්තා කරයි.

Rivira Ads
To Top