,
Foreign

බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 10 ඉක්මවා යයි

Photo-REUTERS/ Amanda Perobelli

(RIVIRA.LK, 2020 ජුනි 20 පස්වරු 05.16ට)

ලොව දෙවැනි තැනට වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වන බ්‍රසීලයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන අන්දමට ගත වූ පැය 24 තුළ දී එරටින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 54,000 ඉක්ම වූ ප්‍රමාණයක් වේ.

worldometer වෙබ් අඩවියට අනුව, බ්‍රසීලයෙන් දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1,038,568ක් වේ. මරණයට පත් වූ සමස්ත පුද්ගලයින් ගණන 49,090කි.

රට තුළ සිදු කෙරෙන අඩු කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව හා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි දත්ත වාර්තා නොවීම යන කරුණු මත එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛනවලට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා.

බ්‍රසීලය තුළ තවමත් රට අගුලු දැමීමේ නීතිරීති ක්‍රියාත්මක වේ. නමුත් වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රාන්ත වලද පනවා ඇති අගුලු දැමීමේ නීතිරීති ඉවත් කරමින් සිටින බව වාර්තා වේ.

ලොව පුරා මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 87 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 463,194 දෙනෙකුට තම දිවි අහිමි වී තිබේ.

Rivira Ads
To Top