දේශීය පුවත්

අද අර්ධ සූර්යග්‍රහණය නැරඹීමට පෙර උපදෙස් පිළිබඳ දැනුවත් වෙන්න

(RIVIRA.LK, 2020 ජුනි 21 පෙරවරු 09.53ට)

ශ්‍රී ලංකාවාසීන්ට ජුනි මස 21 වන ඉරිදා දිනයේ දී අර්ධ සූර්යග්‍රහණයක් දැකගත හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේ උදෑසන 10.25 සිට දහවල් 1.30 දක්වා කාලය තුළ එම සූර්යග්‍රහණය දැක ගත හැකි බවයි. වෙනත් රටවලට වළයාකාර සූර්යග‍්‍රහණයක් ලෙස මෙය දිස්වුවත්, ශී‍්‍ර ලංකාවට මෙම සූර්ය ග‍්‍රහනය දිස්වන්නේ අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙසින්ය.

කොළඹ නගරයට සූර්යග්‍රහණය දිස් වීමේ ආරම්භය සිදු වන්නේ උදෑසන 10.29ට බවත් එය 11.52 වන විට ග්‍රහණ උච්ච අවස්ථාව සිදු වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න ප‍්‍රකාශ කරනවා. එමෙන්ම, පසුව පස්වරු 1.19ට ග්‍රහණ අවසානය සිදු වන බවත් ඔහු සඳහන් කරනවා.

මීට අමතරව, මෙම තත්ත්වය විනාඩි කිහිපයකට පෙර යාපනයට සිදු වන බවත් එහිදී සූර්යග්‍රහණය ආරම්භය සිදු වන්නේ 10.24ටයි. පසුවය 11.54ට උච්චම අවස්ථාවත් 1.30ට ග්‍රහණ අවසානයත් සිදුවෙනවා.

එමෙන්ම, මාතර නගරයට දිස්වන්නේ යාපනයට වඩා විනාඩි 10කට පසුව බවත් මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කරයි. ඒ අනුව, මාතර නගරයට 10.37ට ග්‍රහණ ආරම්භය සිදු වී 11.53ට ග්‍රහණ උච්චම අවස්ථාව සිදු වී 1.17ට ග්‍රහණ අවසානය සිදු වෙන බව මහාචාර්යවරයා පවසයි.

මෙම අර්ධ සූර්යග‍්‍රහණය පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර ඒ සඳහා යොදාගත හැකි ආරක්ෂිත යොදා ගත යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න පැහැදිලි කරමින් පැවසුවා. එහිදී, කළු කළ හෝ දැලි ගා සකස් කළ වීදුරු, අව් කණ්නාඩි යොදා ගෙන මෙය නැරඹීමෙන් ඇසට හානි සිදු විය හැකි බව ඔහු පවසනවා. එක්ස් රේ කිරණ පටල යොදා ගත හැකි වුවද එහි තිබෙන සුදු පාට කොටසින් හානියක් සිදු විය හැකි බැවින් ඒ සඳහා අනුබල දිය නොහැකි බවද ඔහු පවසයි.

මෙය නැරඹීම සඳහා කළු ඡායාරූප පටල, අංක 14 යෙදූ පෑස්සුම් සඳහා යොදා ගන්නා කණ්නාඩි යොදා හැකි බව ඔහු පවසනවා. එසේ නොමැති නම් කාඩ්බෝර්ඩ් මත සැකසූ සිදුරක් සූර්යයා දෙසට එල්ල කර එයින් පොළව මතට වැටෙන ලපය දෙස නැරඹීමට ද හැකි බව මහාචාර්යවරයා පවසයි. එසේම, වතුර බේසමක් තබා එයින් ද නැරඹීමට හැකි බව ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම පැහැදිලි කළ කුමන ආකාරයෙන් නැරඹුවද විනාඩි තුනකට වඩා එය නැරඹීමෙන් වළකින ලෙසත් ඔහු සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top