(RIVIRA.LK, 2020 ජුනි 21 පෙරවරු 10.50ට)
සියලු බන්ධනාගාර සෝදිසි කර සතියක් ඇතුළත තහනම් භාණ්ඩ සිය භාරයට ගන්නැයි බන්ධනාගාර මූලස්ථානය, බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කර තිබෙනවා. ඒ අනුව රැඳවියන් රඳවා සිටින වාට්ටු එම බන්ධනාගාරවල සේවය කරන විනයගරුක නිලධාරීන් පමණක් යොදා සෝදිසි කිරීම් සිදුකළ යුතු බවට බන්ධනාගාර අධිකාරිවරුන්ට උපදෙස් දී ඇත. රැඳවියන් සතුව පවතින ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ සොයා මෙම සෝදිසි මෙහෙයුම් ආරම්භ කරන ලෙස මෙලෙස නියෝග කර තිබෙනවා.
මෙම නියෝගය අනුව මාතර බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රැඳවියෙකු ළඟ තිබී ජංගම දුරකථයනක් සොයා ගෙන තිබේ. එම බන්ධනාගාරයේ D වාට්ටුවේ රඳවා සිටින අදාල රැඳවියාගේ කලිසමක සඟවා ගෙන සිටියදී එම ජංගම දුරකතනය සොයා ගෙන ඇත.
මෙම සිද්ධිය පිළිබඳව සිදු කරන ලද මූලික විමර්ශනවලදී හෙළ වී ඇත්තේ පිටස්තර පුද්ගලයෙකු විසින් එම ජංගම දුරකථනය එම බන්ධනාගාරයේ ම සේවය කළ බන්ධනාගාර නියාමකවරයෙකුට ලබා දි ඇති අතර ඔහු විසින් එය අදාළ රැඳවියාට ලබා දී ඇති බවයි. එම ජංගම දුරකථනය අදාළ රැඳවියාට ලබා දීම සඳහා බන්ධනාගාර නියාමකවරයා විසින් රු.15,000ක මුදලක් ද ලබා ගෙන ඇති බවට හෙළි වී තිබේ.
ඒ අනුව, එම සැකකාර බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනමට ලක් කර තිබෙන අතර ඔහු පිළිබඳව වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ සිදු කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා විසින් මාතර පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබෙනවා.
ජුනි මස 09 වන දින මීගමුව, මැගසින්, කොළඹ හා බෝගම්බර යන බන්ධනාගාරවල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් ජංගම දුරකථන 79ක්, සිම්පත් 51ක්, දුරකථන බැටරි 71ක්, දුරකථන චාජර් 30ක් හා මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයා ගන්නා ලදී. මීට අමතරව, බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් රඳවා සිටින සිර මැදිරි ආශ්‍රිතව සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකත 3 ක්, බැටරි 17 ක් සහ සිම් කාඞ්පත් 3 ක්ද සොයා ගැණුනු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

