(RIVIRA.LK, 2020 ජුනි 21 පස්වරු 6.10ට)
කොරෝනා වෛරසය බොහෝ දුරට පාලනය කර තිබූ දකුණු කොරියාවෙන් දේශීය වශයෙන් කොරෝනා වෛරසය ආසාදිත වූවන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. දකුණු කොරියාවේ විශාලතම නගර වන සෝල් හා ඩෙජෝන්වලින් ජුනි 21 වන දින කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 48 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිලියන 10ක් ඉක්මව වූ පුද්ගලයින් ප්‍රමාණයක් සිටින සෝල් නගරයේ රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට පනවා තිබූ නීති රිති ඉවත් කරන ලද්දේ පසුගිය 14 වැනිදා සිටය. ජුනි 21 වන දින වාර්තා වූ නව රෝගීන්ගෙන් 24 දෙනෙකුම සෝල් නගරයෙන් වාර්තා වී ඇත. ඩෙජෝන් නගරයෙන් 10 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ.බී.සී. පුවත් සේවය වාර්තා කරන අන්දමට සෝල් අගනුවර පිහිටි බෙදා හැරිම් ආයතනයක සේවය කරන සේවකයින් පිරිසක් වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත. එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් 60 දෙනෙකු සහ තවත් 200ක පමණ ආශ්‍රිතයන් පිරිසක් ඔවුන් හරහා හඳුනාගෙන ඇත. තවත් රෝගීන් වාර්තා වූ ටෙනිස් සමාජයක 70ක පමණ පිරිසක් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත.
වසංගත ව්‍යාප්තිය මුල් අවධියේම ආසාදිතයින් වාර්තා වූ රටක් ලෙස දකුණු කොරියාවේ මේ වන විටත් වාර්තා වන්නේ රෝගීන් 12,421ක් සහ මරණ 280ක් පමණි. ජාත්‍යන්තර වශයෙන් සැලකූ විට දකුණු කොරියාවේ රෝග ව්‍යාප්තිය ඉතාමත් පහළ මට්ටමක පවතී.
වෛරසය පැතිර ගිය මුල් අවධියේ දී ම විශාල වශයෙන් රෝගීන් පරික්ෂාවත් සිමාවන් පැනවීමටත් දකුණු කොරියාව පියවර ගත් අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට එය ලිහිල් කිරිමට ඇරඹුණා.

