2020 මහමැතිවරණය

එජාප සාමාජිකත්වය අත්හිටුවීම: සජබය ඉල්ලූ වාරණ නියෝගය ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(RIVIRA.LK, 2020 ජුනි 22 පස්වරු 12.24ට)

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුව, දිසා අධිකරණය විසින් ජුනි 22 දින ප්‍රතික්ෂේප කළා.

අධිකරණ තීරණය දැනුම් දෙමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර, විවෘත අධිකරණයේ දී සඳහන් කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේ දී අදාළ පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය වෙත හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය බවයි. එහෙත් මෙම නඩුවේ පැමිණිලිකරු විසින් සිද්ධිමය කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයැද සිට ඇතැයි දිසා විනිසුරුවරිය පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරු අමාලි රණවීර සඳහන් කළාය.

සමගි ජනබලවේගයේ මහලේකම්, පැමිණිලිකාර රංජිත් මද්දුමබණ්ඩාර ගොනු කළ නඩුවෙන් සඳහන් කර තිබුණේ තමා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය නැමැති සන්ධානයකින් නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් තීරණය කර ඇති බවයි.

නමුත් සමගි ජන බලවේගය නැමැති සන්ධානය ස්ථාපිත කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බව සඳහන් කර ඇති පැමිණිල්ල කියා සිටියේ එවැනි තත්වයක් තුළ එම සන්ධානය ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බවයි.

එහෙත් එයම හේතුවක් කරගෙන තමන් ඇතුළු පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය ගනු ලැබූ තීන්දුව නීතියට පටහැනි බවට තීන්දු කොට තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස රංජිත් මද්දුම බණ්ඩාර සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සිය මූලික විරෝධතා ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජන බලවේගය නැමැති පක්ෂයක් ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් කිසි විටෙකත් අනුමැතියක් ලබා දී නොතිබූ බවයි.

පැමිණිලිකාර රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිස සමගි ජන බලවේගය නැමැති පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එම පක්ෂයෙන් නාම යෝජනා භාරදී ඇති බවත් ඒ අනුව ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය තවදුරටත් දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති පිරිසක් බවත්
නීතිඥ අකිල විරාජ් කාරියවසම් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකරු ඇතුළු පිරිසට එරෙහිව පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය විසින් විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් එය වැළැක්වීම සඳහා වාරණය ගැන නිකුත් කළහොත් පක්ෂ සාමාජිකත්වයට හා පක්ෂයේ පැවැත්මට දැඩි අගතියක් සිදු විය හැකි බවත් නීතිඥ අකිල විරාජ් කාරියවසම් සිය විරෝධතාවලින් පෙන්වා දී තිබුණා.

ජුනි 22 වාරණ නියෝගය ප්‍රතික්ෂේප කරමින් අධිකරණයේ තීරණය දැනුම් දුන් දිසා විනිසුරුවරිය ජුලි 27 දින මෙම නඩුව යළි කැඳවීමට නියෝග කළාය.

එදිනට අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි උප නායක රවී කරුණානායක
වෙත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළාය.

එසේම ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ජුනි 22 දින සිට සති දෙකක් ඇතුළත එකී විරෝධතා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට ද අධිකරණය විසින් නියම කර සිටියා.

සම්බන්ධිත පුවත්

Rivira FB Group Rivira Youtube
To Top