(RIVIRA.LK, 2020 ජුනි 23 පස්වරු 12.16ට)
ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට ජුනි 23 පෙරවරුවේ එම ස්ථානයට පැමිණ තිබෙනවා.
එසේම එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා අර්ජුන රණතුංග ද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට එහි පැමිණ සිටිනවා.
නිශ්ශංක සේනාධිපතිගේ සභාපතීත්වයෙන් යුත් ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් රජයට පවරාගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව ජනාධිපති කොමිසම මඟින් සිදුකෙරෙන විමර්ශනයේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ශව 17කට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබෙනවා.
කෙසේ නමුත් නීතිපතිවරයා දන්වා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි කරවිය නොහැකි බවයි.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතිඥ, ජනාධිපති අතිරේක ලේකම්, නිෂාරා ජයරත්න කියා සිටියේ අදාළ පනතේ 16 වන වගන්තියට අනුව එලෙස පෙනී සිටිය යුතු බවට නීතිපතිවරයා වෙත ප්‍රතිපාදන සලසා නොමැති බවයි.

