(RIVIRA.LK, 2020 ජුනි 23 පස්වරු 04.29ට)
හිටපු විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයක් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නතර කර තිබෙනවා.
ජුනි 23 දින හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එහි ආරම්භය පැයක පමණ කාලයකට ප්‍රමාද වූ අතර එම අවස්ථාවේ දී උත්සව භූමියට පැමිණ ඇති මොරටුව සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා හා කහතුඩුව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න විසින් සංවිධායකයින් වෙත දැනුම් දී ඇත්තේ මෙම උත්සවය නවතා දමන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් රැස්ව සිටි දේශපාලනඥයින් ඊට එරෙහිව යම් යම් මත ඉදිරිපත් කළ අතර අදාළ තීරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් පොලිසිය වෙත එවා තිබූ ලිඛිත දැන්වීමක් ද සංවිධායකයින්ට ඇසෙන සේ පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් සහභාගී වීමකින් තොරව අදාළ පරිත්‍යාගය ලබා දිය හැකි බවයි.

