ක්‍රීඩා

මං ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා, මිය ගියේ නැහැ – පැතිර යන කතා ගැන පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන්නා කියයි

Photo- DNA India

(RIVIRA.LK, 2020 ජුනි 24 පෙරවරු 10.45ට)

පසුගිය දිනක සිදු වූ රිය අනතුරකින් තමන් මිය ගියා යැයි ප්‍රචාරය වූ පුවත තවදුරටත් විශ්වාස නොකරන මෙන් පාකිස්ථානයේ හිටපු ක්‍රිකඩ් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් ඉර්ෆාන් ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන අසත්‍ය කට කතාවලට නොරැවටෙන ලෙසත්, තමන් ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් පාකිස්තානු වේගපන්දු යවන්නා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මෙම අසත්‍ය ප්‍රචාර පිළිබඳව තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මෙම අදහස් පළ කර තිබුණා. ඉර්ෆාන් සඳහන් කරන්නේ ළැව් ගින්නක් මෙන් වේගයෙන් පැතිර යන කටකතා සියල්ලම පදනම් විරහිත ඒවා බවයි.

“මේ වැඩෙන් මගේ පවුලේ අය වගේම සමීපතම නෑදෑ හිතමිත්‍රයෝ ගොඩක් දෙනෙක් සෑහෙන අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ. මේක ප්‍රචාරණය වුන වෙලාවේ ඉඳන් මම කවදාවත් දැකලවත් නැති දුරකථන අංකවලින් පවා මට ඇමතුම් ගලාගෙන එනවා. මෙහෙම තවත් කෙනෙක් අමාරුවේ දාන, තේරුමක් නැති දේවල් කරන්න යන්න එපා කියල මම කාරුණිකව ඉල්ලනවා.” යනුවෙන් ද ඉර්ෆාන් තම ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබිණි.

38 හැවිරිදි ඉර්ෆාන් පාකිස්ථානය තුළ පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළදී ද කවුරුන් දන්නා හඳුනන, කාගේත් අවධානය දිනා ගත් චරිතයක් බවට පත්වී තිබුණේ ඔහු පන්දුවෙන් දක්වන දක්ෂතාවන්ට අමතරව අනෙක් ක්‍රීඩකයින්ට වඩා කැපී පෙනෙන උසක් ඔහු සතුව තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත්, මෙම අකරතැබ්බයට මූලිකවම හේතුව වී ඇත්තේ පාකිස්තාන ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වන මොහොමඩ් ඉර්ෆාන් නමැති වෙනත් ක්‍රීඩකයකු පසුගිය ජුනි 21 වන දින හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ය. බොහෝ දෙනකු ඒ මියගියේ පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් ඉර්ෆාන් බව වැරදි වැටහීමකින් යුතුව කටයුතු කරන්නට ඇති බව එරට ආරංචි මාර්ග වාර්තා කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top