(RIVIRA.LK, 2020 ජුනි 25 පස්වරු 12.20ට)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමා හා ටෙළි නළුවෙකු මෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදකයෙකු වූ නඩරාජා ශිවම් මහතා ජුනි 24 වන දින රාත්‍රියේ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
සින්නයියා නඩරාජා සිවම් වඩාත්ම ශ්‍රී ලාංකීය ජනතාව වෙත සමීප වූයේ ජ්‍යෙෂ්ඨ නිවේදකයෙකු වශයෙන් ජාතික රූපවාහිනියේ ස්වර්ණමය යුගයේදී ‘ආයුබෝවන්’ වැනි වැඩසටහන් තුළින් ය.
එමෙන්ම, ජාතික රූපවාහිනියේ සහ ජාතික ගුවන්විදුලියේ දමිළ අංශයේ කටයුතු කර තිබෙන ඔහු විශේෂයෙන් දමිළ පුවත් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් වසර ගණනාවක් සේවය කොට තිබේ. 1998 වසරේ සූරියන් එෆ්.එම් හි ආරම්භක වැඩසටහන් කළමනාකරු හා උපදේශකවරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කළේය.
ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගනයට ද එක් වූ සිවම් මහතා විශේෂයෙන්ම යුද සමයේ විකාශය වූ ටෙලිනාට්‍ය හා චිත්‍රපට වල, සහජීවනය නිරූපණය කරන චරිත බොහොමයක් නිරූපණය කරන ලදි. ඒ අතරින් සුදු අක්කා (1997), යුද ගිණි මැද (1998), ඉර හද යට (2010) , සෙල්වම් (2011) , යන චිත්‍රපට විශේෂ වේ. තවද, යශෝරාවය, ලා හිරු දහසක් වැනි ටෙලිනාට්‍යයන් ද ඔහුගේ රංගන දායකත්වය ලැබුණු ටෙලිනාට්‍ය අතර ප්‍රධාන වේ.

