දේශීය පුවත්

බස් ප්‍රමුඛතා මං තීරු නීතියේ තෙවැනි අදියර ලබන සඳුදා සිට

(RIVIRA.LK, 2020 ජුනි 27 පස්වරු 08.10ට)

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර ජුනි 29 වැනි සඳුදා දින සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව, එදින උදෑසන 06.00 සිට ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය. සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, ආමර් වීදිය, මාළිඟාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වේ.

බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වන අවස්ථාවන්වලදී එම මංතීරුව තුළ පුද්ගලික සහ ලංගම බස් රථ, ආසන 20 ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනයකරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ සහ වෑන් රථවලට පමණක් එය භාවිත කළ හැකි බව පොලිස් මුලස්ථානය සදහන් කළේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මස 8 වන දින සිට විශේෂ සැලැස්මකට අනුව කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවේය.

“අලුතින් පටන් ගමු, මහ මඟ විනය ඇති කරමු” යන තේමාව යටතේ මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගත්තේය. මෙහි පළමු අදියර මොරටුව සිට කොළඹ කොටුව දක්වාත්, දෙවන අදියර බොරැල්ල සිට කොළඹ කොටුව දක්වාත් මේ වන විට ක්‍රියාත්මක වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top