දේශීය පුවත්

තම උපදෙස් මත කටයුතු නොකළ නිසා වැ.බ. පොලිස්පති වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති කියයි

(RIVIRA.LK, 2020 ජුනි 29 පෙරවරු 11.43ට)

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම විභාගයේ දී, වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව නීතිපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයා, නීතිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියා නොකිරීම බව ජනාධිපති අතිරේක ලේකම්, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළා.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකගේ දුරකථන හඬපට හරහා ප්‍රසිද්ධ වූ කරුණුවලට අනුව ඊට අදාළ විමර්ශනවලදී සැකකරුවකු ලෙස නම් කර සිටින අනිවාර්ය නිවාඩු ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් ජූනි 8 වන දින අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා සැකකරුවකු ලෙස නම්කර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස්වලට අනුව පොලීසිය ක්‍රියාත්මක නොවූ බවයි.

ඉන් අනතුරුව නීතිපතිවරයා මැදිහත් වී තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීම මත මහෙස්ත්‍රාත්වරයා තම සේවාදායකයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) (ඇ) අනු වගන්තිය යටතේ මෙවැනි නඩු කටයුත්තක් ඇරඹීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

ඒ අනුව අදාළ රිට් පෙත්සම නැවත ජුනි 29 දින කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබුණි.

Rivira FB Group Rivira Youtube
To Top