,
News

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනාගේ සේවය අත්හිටුවයි

(RIVIRA.LK, 2020 ජුනි 29 පස්වරු 09.30ට)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ තිබු සබඳතා හේතුවෙන් ජුනි 27 වැනි දින අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් සිව්දෙනාගේ සේවය අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් , සාජන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙක්ගේ සේවය එසේ අත්හිටවු බවයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගෙන් ලද තොරතුරු මත සිදුකරන ලද විමර්ශනයකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ මෙම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනා සහ ඔවුන්ට ආධාර අනුබලදුන් බව කියන සිවිල් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජුනි මස 27 වන දින අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුකරනු ලබන විමර්ශනයකට අනුවයි.

පසුව ඔවුන්ගෙන් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එකතුව මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා සහය දක්වා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වීමෙන් ඔවුන් රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් සහ දේපළ මිලදී ගෙන ඇති බවත්, ඊට අමතරව මෝටර් රථ, යතුරුපැදි භාවිත කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පිරිස සතුව තිබී රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් මුදල් ප්‍රමාණයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන්ම, මිට වසර කිහිපයකට ඉහතදී පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට යාමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු මරණයට පත් කරමින් තවත් නිලධාරියෙකුට බරපතල තුවාල සිදුකරමින් සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට මෙම පිරිසගේ සම්බන්ධයක් ඇත්ද යන්න ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරමින් සිටියි.

මීට අමතරව, අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දහස් ගණනක් පිටතට විකුණා ඇතැයි ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සතු භාණ්ඩ ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇති බව වාර්තා වේ. මහා පරිමාණ වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා හෙරොයින් මෙම නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ බව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනාවරණය කරයි. ඒ අනුව, ජුනි 29 සහා 30 යන දිනයන්හි දී මෙම ගබඩාවේ තොග ගණනය කිරීමක් දැඩි රැකවරණ මැද කිරීමට ද ආරක්ෂක අමාත්‍යාංශය විසින් නියෝග කර ඇත.

කාලයක් තිස්සේ පොලිස් නාකොටික් අංශයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කුඩු තොගවලට වෙනත් රසායන ද්‍රව්‍ය හා පිටි කලවම් කර රස පරීක්ෂක වාර්තා සඳහා සාන්ද්‍රණ වෙනස් කරවා නියම තත්ත්වයේ කුඩු තොග එම ගබඩාවෙන් හොරෙන් විකුණා ඇතැයි දැනට කරන විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දූෂිත නිලධාරීන්ට නායකත්වය දී ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා ඇතුළු මහා පරිමාණ ජාවාරම් කරුවන් බවට හෙළි වී ඇත.

මහ මුහුදේ දී හා ගොඩබිමේ දී අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග නඩු කටයුතු සඳහා රස පරීක්ෂක වෙත යැවූ සාම්පලවල වාර්තා එන තුරු ගබඩා කරන්නේ මෙම ගබඩාවේය. මෙම ගබඩාව දැඩි ආරක්ෂක රැකවල් මැද පිහිටි රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට පහළ මාලයේ තිබීම ද විශේෂත්වයකි.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව නඩු භාණ්ඩ ගබඩාවේ නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කිරීමට ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම රඳවා ඇත.

මෙම අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට සහය දැක්වූ වෙනත් නිලධාරීන් හෝ බාහිර සමාජයේ පිරිස් සිටිනවාද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියා.

Rivira Ads
To Top