(RIVIRA.LK, 2020 ජුනි 30 පෙරවරු 08.50ට)
2020 මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම ජුනි 30 දිනයේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජුලි 01 වන හා 02 යන දිනවලදී ද තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම සිදුකරන බවයි.
අගෝස්තු මස 05 වන දින පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය දීමට පුද්ගලයින් 753,037 දෙනෙකු ඉල්ලීම් කර තිබූ අතර ඉන් 705,085 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත් 47,430ක් මේ වන විට ප්‍රතික්ෂේප කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ හැර තැපැල් ඡන්ද සලකුණු කිරීම ජුලි මස 14 සහ 15 යන දිනයන්හිදී සිදුකිරීමට නියමිතයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලය, පොලීසිය ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල තැපැල්ඡන්ද සලකුණු කිරීම ජුලි මස 16 සහ 17 යන දිනවල දී සිදුකිරීමට නියමිත අතර එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ජුලි මස 20 සහ 21 දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා තිබේ.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ජුනි 30 පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන මැතිවරණ කොමිෂන් සභාවේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
විශේෂයෙන් ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දිර්ඝ කිරීම සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

