(RIVIRA.LK, 2020 ජූලි 01 පස්වරු 11.57ට)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීම සඳහා චීනයෙන් ගෙන්වු ගැන්ට්‍රි දොඹකර 3 මෙරටට ගෙන ආ නෞකාවක් ජූනි මස 20 වන දින සිට කොළඹ වරයේ නැංගුරම්ලා තිබෙන අතර එය සවි නොකිරීම හේතුවෙන් ජූලි 01 දින විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.
ජූලි 01 දින පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ සංගමයේ සේවකයින් තිදෙනෙක් කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නෞකාව තුළ ඇති ගැන්ට්‍රි දොඹකරයකට නැඟී අදාළ විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.
කොළඹ වරායේ නැගෙනහිර ජයබහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25.5ක් වැය කරමින් ශ්‍රී ලංකා රජය විසින් ඇණවුම් කළ ග්‍රැන්ටි දොඹකර තුනක් ZPMC නෞකාව මගින් මෙරටට රැගෙනවිත් තිබුණි.
කොළඹ වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මෙම ගැන්ට්‍රි දොඹකර නවතා ඇති නැවට එක් දිනකට රුපියල් ලක්ෂ 94ක මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවිය යුතු බවයි.
ඒ අනුව දැනට නවතා තිබූ දින 11ට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1,000කට අධික බව ද වරාය සේවකයින් පෙන්වා දෙනවා.
යහපාලන රජය විසින් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එළැඹ ඇති ත්‍රීපාර්ශවීය ගිවිසුමක් හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බව වරාය නිදහස් සේවක සංගමය චෝදනා කර සිටිනවා. ඒ අනුව එහි ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වැඩි දියුණු කිරීමේ ගිවිසුමක් තිබීම හේතුවෙන් එම පර්යන්තය රටට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ඔවුන් සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම පර්යන්තය එම දොඹකර සවිකර සක්‍රීය තත්වයට පත්කළහොත් දෛනිකව මිලියන 14ක පමණ මුදලක් ඉපැයීමට හැකි බවද ඔවුන් සඳහන් කළා.
කෙසේ වෙතත් අදාළ ගැටළුවට පැය 24ක් ඇතුළත විසඳුමක් ලබානොදුනහොත් වරාය සේවයකයින් සියලු කටයුතුවලින් ඉවත් වන බව ද වරාය සේවකයින් සඳහන් කළා.
එසේම විසඳුමක් ලබා දීමට ප්‍රමාණවත් උත්සාහයක් නොදැරුවොත් මාරාන්තික උපවාසයක් දක්වා එය ක්‍රියාත්මක කරන බව ද කොළඹ වරායේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න සඳහන් කළා.
වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායකගේ අදහස
කිසිදු අවස්ථාවක වරායේ රාජකාරියේ නිරත සේවයකයන්ට හෝ රටට හානියක් සිදුවන ක්‍රියාමාර්ගයක් නොගන්නා බව වරාය අධිකාරියේ සභාපතිවරයා අවධාරණය කළා.
කෙසේ වෙතත් සේවකයින් වෙත එකඟවිය හැකි සාධාරණ පිළිතුරක් ලබා දීමට රජය කටයුතු කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නා. වැඩිදුරටත් ඔහු සඳහන් කළේ අදාළ දොඹකර ගොඩබෑමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවයි.
මේ අතර, වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සහ අමාත්‍යාංශ ලේකම්වරයා, වරාය වෘත්තිය සමිති සමග පැය තුනක පමණ කාලයක් සාකච්ඡා කර තිබෙනවා.
නමුත් අදාළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න කියා සිටියේ අදාළ සාකච්ඡා අසාර්ථක වූ බවයි.
අගමැති මහින්ද රාජපක්ෂගේ අදහස
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමක් සම්බන්ධයෙන් වත්මන් රජය අවසන් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කළා. කෙසේ වෙතත් රටට අහිතකර වන තීරණ කිසිවක් නව රජය නොගන්නා බව අගමැතිවරයා අවධාරණය කළා.

