කොවිඩ්-19

‘කොළඹින් හමු වූ ආසාදිතයා’ සමාජයෙන් වාර්තා වීමක් නොවේ, රජය නිවේදනය කරයි

(RIVIRA.LK, 2020 ජුලි 02 පස්වරු 08.30)

මීට සුළු වේලාවක පෙර කොළඹ 13 පින්තුපිටිය ප්‍රදේශයේ නිවාස නිරෝධායනට ලක්වෙමින් සිටියදී වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගියා සමාජය තුළින් හමු රෝගියෙකු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

එම රෝගියා ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඔහු පසුගිය දින 14 තුළදී අනිවාර්ය නිරෝධායනයට ලක් කර ඇති අතර එම නිරෝධායනය අවසානයේ දි සිදු කරන ලද පී.සී. ආර් පරීක්ෂණයෙන් ඔහු කෝවිඩ් – 19 ආසාදිතයෙකු නොවන බව තහවුරු වී ඇත. ඉන්පසුව කොළඹ 13, පින්තුපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දින 14ක නිවාස නිරෝධායන ක්‍රියාවලියකට යටත් කර ඇති අතර එම නිරෝධායන කාලය තුළ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේදි ඔහු කෝවිඩ් – 19 ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.

ඒ අනුව, මෙම රෝගියා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවත් නිරෝධායන ක්‍රියාවලිය තුළ හඳුනාගත් රෝගියෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

මෙම තත්ත්වය යටතේ ගත යුතු සියලුම ආරක්ෂක පියවර අදාළ අංශ විසින් ගනු ලබන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top