ක්‍රීඩා

පරීක්ෂණවලට සහය දෙන බව කීමට මහේල විමර්ශන ඒකකයට පැමිණෙයි, ක්‍රීඩකයින් කැඳවීම ගැන සමාජයෙන් විරෝධය

(RIVIRA.LK, 2020 ජුලි 03 පෙරවරු 10.48ට – යාවත්කාලීන කර නිවැරදි කරන ලදී)

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ජුලි 03 වන දින මහේල ජයවර්ධන කැඳවන බව ජුලි 02 වන බ්‍රහස්පතින්දා දින ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය දන්වා තිබුණා.

නමුත්, ජුලි 03 වන දිනයේ දී ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට දන්වා තිබූ බව මාධ්‍ය වෙත වාර්තා වී තිබුණා.

එම වාර්තාව අනුව කියවුනේ මහේල ජයවර්ධනට ඉදිරියේ දී දිනයක් ලබා දෙන බව එම ඒකකය සඳහන් කර ඇති බවයි.

කෙසේ වුවත්, ජූලි 03 දිනයේ දී ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙර සිදුකර තිබූ කැඳවීම අනුව පෙරවරු 9ට පමණ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියා.

එම අවස්ථාවේ මහේල ජයවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ජූලි 02 රාත්‍රී 11.30ට පමණ තමාට ජූලි 03 දින නොපැමිණෙන ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන බවත් දැන් වූ බවයි.

එහෙත් ඇතැම් මාධ්‍ය මගින් තමා ඊට සහභාගී වීම පෞද්ගලික හේතු දක්වමින් මගහරින බවට ප්‍රචාරය කර තිබූ නිසා තමන් පැමිණි බව මහේල ජයවර්ධන සඳහන් කළා. ඔහු කියා සිටියේ හිටපු අමාත්‍යවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා සම්පූර්ණ සහයෝගය දෙන බවයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර, උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයින් හා පරිපාලකයින් කිහිප දෙනෙකුම මෙම පරීක්ෂණය සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබූ අතර ක්‍රීඩකයින් එලෙස කැඳවීම සම්බන්ධයෙන් සමාජය තුළින් විරෝධතාවයක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහන් කළේ ක්‍රීඩකයින් පොලීසිය වෙත කැඳවීම තමන් ද අනුමත නොකරන බවයි. ඔහු සඳහන් කළේ ක්‍රිකට් වැරදි සෙවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුවක් ඇති බවත් වරදක් සිදු වී ඇත්නම් හෝ එවැනි සැකයක් ඇත්නම් එවැනි ආයතනයක් මගින් විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.

Rivira FB Group Rivira Youtube
To Top