(RIVIRA.LK, 2020 ජුලි 04 පෙරවරු 12.17ට
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ජූලි 03 දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ෂණ කටයුතු නතර කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් තමන් ඉල්ලිමක් සිදුකරන බවයි.
”මා විසින් 2011 ලෝක කුසලානය පිළිබඳව පසුගියදා ප්‍රකාශයක් සිදු කළා. ඒ ප්‍රකාශය මම මිට කලින් දෙවතාවක් සිදු කළා. මේ පිළිබඳව හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රකාශ සිදු කළා.”
ඔහු වැඩිදුරටත් කියා සිටියේ “2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා විසින් හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට එවන ලද ලිපියක් මා සතුව තියෙනවා. එකෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිලිබදව දැනට පරික්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා. මා විසින් කරන ලද ප්‍රකාශයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබු සියළුම තොරතුරු ලබා දුන්නා.”
මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් කියා සිටියේ අදාළ චෝදනාවට ක්‍රීඩකයින් සම්බන්ධ නැති බව ඔහු පැහැදිලිව කියා ඇති බවයි. එසේම පොලීසිය විසින් කුමාර සංගක්කාරවත්, මහේල ජයවර්ධනවත් කැඳවුයේ කුමන පදනමකින්ද තමන්ට ගැටළුවක් බව ද හිටපු අමාත්‍යවරයා කියා සිටියා.
“පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැහැ, ඒ නිසා මේ පරීක්ෂණ නතර කරා කියලා. මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට. පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරික්ෂණය තියන්න බැහැ කියලා. තරග පවා දිමේ පනත සම්මත වුණේ 2019, මේ සිද්ධිය වුණේ 2011 වසරේදී.”
එසේම ඔහු සඳහන් කළේ “මේකට කට උත්තර ලබාදෙන්න අපි බැදිලා නැහැ” යැයි කුමාර සංගක්කාරගේ නිතිඥවරයා පරීක්ෂණ ඒකකයට පවසා ඇති බවයි. “මේ පනත වැරදියි, එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරික්ෂණය වැරදි කියලා. පොලිසිය වැරදි පරික්ෂණයක් ආරම්භ කරලා ඇණ ගත්තම පරික්ෂණය අවසන් තොරතුරු නැහැ කියන්න බැහැ.” යැයි ද හිටපු අමාත්‍යවරයා චෝදනාත්මකව කියා සිටියා.
එසේම ඔහු කියා සිටියේ පොලිසිය විසින් තොරතුරු ලබාගෙන ඇත්තේ තේරිම් කම්ටුවේ සභාපතිවරයාගෙන් පමණක් බවයි. එහෙත් එවක ක්‍රිකට් පරිපාලනයේ හිටපු ලේකම්වරයාගෙන්, සභාපතිවරයාගෙන් හෝ විධායක නිලධාරින්ගෙන් කට උත්තර ලබාගෙන නැති බව ද ඔහු පෙන්වා දුන්නා. එවැනි තත්වයක් තුළ තෝරාගත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන සාක්ෂි නැතැයි කීම සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍යවරයා පොලීසියට චෝදනා එල්ල කළා.
“අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් විරුද්ධව පැමිණිලි දානකොට දවස් දෙකෙන් පැමිණිල්ල වැහුවා. මෙතනදි වෙලා තියෙන්නේ පොලිසිය පරික්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ශන ඒකකයට පරික්ෂණ කරන්න බැහැ. මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ශනය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.” යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළා.
එසේම ඔහු කියා සිටියේ තමන් ජනාධිපතිවරයා අමතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය අසාධාරණ බව කියා විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටි බවයි. එමෙන්ම පොලීසිය සිදුකර ඇත්තේ වරද තමා පිට දැමීම බව ද හිටපු ඇමතිවරයා කියා සිටියා.
“මම එදත් කිව්වා මේක දේශපාලනියකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන. අපිට ලෝක කුසලානය දින්නන පුළුවන්. ආයේ දිනන්න නම් මේ තරගා පවා දිම නතර කරන්න ඕනේ. මේක පිටි පස්සේ ක්‍රීඩකයෝ නැහැ. හැබැයි මේකට සම්බන්ධ අය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න” යැයි ද හිටපු අමාත්‍යවරයා කියා සිටියා.
සම්බන්ධිත පුවත්
- ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන පොලිස් පරීක්ෂණ අතරමැදින් අවසන්, සාක්ෂි නැති බව පොලීසිය කියයි
- පරීක්ෂණවලට සහය දෙන බව කීමට මහේල විමර්ශන ඒකකයට පැමිණෙයි, ක්‍රීඩකයින් කැඳවීම ගැන සමාජයෙන් විරෝධය

