විදේශ

කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයෙන් ඇමරිකාව වාර්තා පිට වාර්තා තියයි

(RIVIRA.LK, 2020 ජුලි 04 පෙරවරු 08.45ට)

එක් දිනයක් තුළ දී වැඩිම කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණනක් වාර්තා වූ රට ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙන් ජුලි 03 වන දින කොරෝනා වෛරසය ආසාදිත වූ ගණන 54,904ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ජුලි 02 වන බ්‍රහස්පතින්දා දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 55,274ක් විය. එය දිනක් ඇතුළත ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ගණන විය. මීට පෙර බ්‍රසීලයෙන් ජූනි 19 වැනිදා වයිරස ආසාදිතයන් 54,771ක් හඳුනාගෙන තිබිණි.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසකින් දිනපතා වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වයිරසය පාලනය කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග නැවත වරක් දැඩි විවේචනයට ලක්ව ඇත. දෛනිකව වාර්තා වන වෛරසය ආසාදිතයන් වැඩි වීමත් සමඟ ඇතැම් ප්‍රාන්ත නැවත විවෘත කිරීම් කල් දැමීමටත් වෛරසය පැතිර යෑම වැළැක්වීමට පැනවූ සීමා තවදුරටත් පවත්වාගෙන යෑමටත් පියවර ගෙන ඇත.

ෆ්ලෝරීඩාව ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 37කම දෛනිකව වාර්තා වන වෛරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් ජුලි 03 වන දින වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් තිබිණි. දිනක් ඇතුළත ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද එය විය. එම ගණන යුරෝපයේ රටකින් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් තිබිණි.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ද වෛරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. එම ප්‍රාන්තයේ වෛරසය ආසාදනය වූ බව හඳුනාගත් පිරිසගේ සංඛ්‍යාව සියයට 37කින් ඉහළ ගොස් තිබෙන අතර වෛරසය ආසාදනය වී රෝහල් ගත කරන පිරිසගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක කාලයේදී සියයට 56කින් ඉහළ ගොස් ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top