(RIVIRA.LK, 2020 ජුලි 06 පෙරවරු 01.05ට)
සෞඛ්‍ය මාර්ගෝපදේශ 11ක් මත පදනම්ව නැවත විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට ජුලි 06 වන සඳුදා දිනයේ සිට තීරණයක් ගැනීමේ බලය පවරන බව විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ ජුලි 06 වන දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
පහත සඳහන් කොන්දේසි 11 යටතේ අදාළ තීරණය ගැනීමට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.
එහි පළමු කොන්දේසිය ලෙස, එක් පීඨයකට එක්වරකට විශ්වවිද්‍යාලයට කැඳවිය හැක්කේ, වසර දෙකක සිසුන් පමණක් වන අතර එම වසර දෙක අවසන් වසර හා තෙවන වසර නම් වඩාත් යෝග්‍ය බව මහාචාර්යවරයා මෙහිදී පැවසීය.
දෙවන කොන්දේසිය වන්නේ නේවාසිකාගාරවල සිටින ළමුන්ට එක් සිසුවෙක්ට එක් කාමරය බැගින් ලබා දීම අනිවාර්ය වේ.
තෙවන කොන්දේසිය නම් විශ්වවිද්‍යාල නැවත ආරම්භයේ දී දේශන හා ප්‍රායෝගික පන්ති අවසන් කර ඍජුවම විභාග සඳහා වෙන්කර ඇති සිසුන්ට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුය.
සිව්වන කොන්දේසිය ලෙස සභාපතිවරයා සඳහන් කළේ, විභාග පැවැත්වීමට පෙර පවත්වන ඕනෑම අධ්‍යයන කටයුත්තක් සඳහා කාලය අඩු කරමින්, එය උපරිමය සති 4කට වඩා වැඩි නොවිය යුතු බවයි.
පස්වන කොන්දේසිය වන්නේ, අවසන් වසරේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ආරම්භ කර හැකි අතර, ඒ සඳහා අදාළ පීඨවලින් උපදෙස් ලබා දිය හැකිය.
තවද, දන්ත වෛද්‍ය හා ආයුර්වේද අවසන් වසරේ සිසුන්ගේ සායනික පුහුණුව ද ආරම්භ කළ හැකිය.
මේ අතර අධ්‍යයන හා විභාග කටයුතු අවසන් වු වහාම සිසුන් විශ්වවිද්‍යාලවලින් තම පෞද්ගලික නිවාස වෙත පිටවිය යුතු වේ.
විශ්වවිද්‍යාල භූමිය තුළ රාත්‍රී 7න් පසුව කුමන හේතුවක් මත හෝ විවෘතව නොතැබෙන බව ද මහාචාර්යවරයා එහිදී අවධාරණය කළේ ය.
ඒ අනුව, ක්‍රීඩා , සමාජ වැඩ හෝ කුමන හෝ ඒකරාශී වීමක් සඳහා මේ අනුව විශ්වවිද්‍යාල සිසුන්ට අවසර නොලැබෙනු ඇත.
සියලූම උපකුලපතිවරුන්ට තමන්ගේ නේවාසිකාගාරවල ඇති පහසුකම් පිළිබඳව මනා සැලකිල්ලක් යොදවා , වරකට විශ්වවිද්‍යාලයට ගෙන්විය යුතු සිසුන් සංඛ්‍යාව පිළිබඳ අධ්‍යයනයකින් පසුව අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලෙස ද දැනුම් දෙයි.
උසස් අධ්‍යාපන ආයතන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය ආරක්ෂණ විදිවිධාන ඇතුළත් චක්‍රලේඛය තවදුරටත් වලංගු වේ.
විශ්වවිද්‍යාලය සුමටම පවත්වා ගැනීම සඳහා, අවශ්‍ය කරන අධ්‍යයන , අනධ්‍යයන කාර්ය මණ්ඩලය තීරණය කිරීමට උපකුලපතිවරුන්ට බලය පවරා තිබේ.
ඒ අනුව මෙම කොන්දේසි වලට යටත්ව විශ්වවිද්‍යාල පද්ධතිය විවෘතව පවතී.
මීට අමතරව, විශ්වවිද්‍යාල පළමු වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් එහිදී පැවසුවේය.

